කන්ටේනර් 323 ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් වරාය ඇමති ඉල්ලා අස්වේ

ඉල්ලා අස් වුණේ අපි විරුද්ධ වුණ නිසා – මුජිබර්

නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව කොළඹ වරායෙන් බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමන් ඉල්ලා අස්වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අදාළ කන්ටේනර් බහාලුම් පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම් කරන විට තමන් නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් මේ වන විට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවින් එම තීරණය ගත් බවයි ඔහු (18) අද පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේ.

මෙම කාරක සභාව හමුවට තමන්ගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනවල නිලධාරීන් කැඳවීමට සිදුවන අතර කිසියම් පාර්ශවයකට ලබැඳියාවන් අතර ගැටුමක් පවතින බව අර්ථකථනය කළ හැකි බැවින් තමා ඒ සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත් වන බව ඔහු කියා සිටියා.

එහිදී එම පාර්ම්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාම්කාජිකයකු වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ ලබැඳියාවන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බැවින් ඔහුට ඉල්ලා අස්වෙන්න යැයි විපක්ෂය කළ ඉල්ලීම අනුව ඉල්ලා අස් වී ඇති බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය කරුණාතිලක විපක්ෂයේ ඉල්ලීම මත නොව තමාගේම කැමැත්ත මත තමා ඉල්ලා අස්වූ බව එහිදී සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!