අමෙරිකා එක්සත් ජනපදය සමඟ වර්ධනය වන ගැටුම්කාරී ප්‍රවණතා මධ්‍යයේ ඉරානය පසුගිය වසරේ ඊශ්‍රායලය සමඟ පැවති දින 12 යුද්ධය අතරතුර ප්‍රහාරයට ලක් වූ හමුදා සහ න්‍යෂ්ටික ස්ථාන නැවත අලුත්වැඩියා කරමින් සහ ශක්තිමත් කරමින් සිටින බව සැටලයිට් ඡායාරූප කිහිපයක් ඔස්සේ අනාවරණය වී තිබෙනවා.
එම ඡායාරූපවල සටහන් වී ඇති ආකාරයට ඉරානය සංවේදී හමුදා ස්ථානයක නව ගොඩනැගිල්ලක් මත තද කොන්ක්‍රීට් ආවරණයක් නිර්මාණය කරමින් එය සම්පූර්ණයෙන් භූගත වන ආකාරයට වසා දමා ඇති බවයි පෙනී යන්නේ.
මෙය බෝම්බ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට කරන වැඩිදියුණු කිරීමක් ලෙස සැලකෙනවා. පසුගිය වසරේ යුද්ධය අතරතුර අමෙරිකා එක්සත් ජනපදය විසින් බෝම්බ හෙලන ලද න්‍යෂ්ටික සංකීර්ණවලට පිවිසෙන උමං පිවිසුම් දොරටු පස්වලින් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන ආරක්ෂක අංශ සතු සංවේදීම හමුදා කඳවුරු හා න්‍යෂ්ටික සංකීර්ණ වන පාර්චින් සහ ඉස්ෆහාන් වැනි මර්මස්ථාන මෙසේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී.
මෙම අලුත්වැඩියා කිරීම් සිදුවන්නේ අමෙරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පවතින අතරතුරය.
ඇමෙරිකාව ඉරානය සමඟ ගිවිසුමකට එළැඹීමට එකඟතාවය පළ කරන අතරම අසාර්ථක වුවහොත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවට ද අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා. ඒ නිසා ඉරානය මෙම ආරක්ෂක වැඩිදියුණු කිරීම් කරන්නේ අනාගත ප්‍රහාරයක් සම්බන්ධයෙන් සූදානමක් ලෙස විය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ටෙහෙරානයේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 20) පමණ ගිනිකොන දෙසින් පිහිටි පාර්චින් සංකීර්ණය ඉරානයේ වඩාත්ම සංවේදී හමුදා කේන්ද්‍රස්ථානවලින් එකකි. බටහිර බුද්ධි අංශ චෝදනා කරන්නේ ඉරානය වසර 20කට වැඩි කාලයක් තිස්සේ එහි න්‍යෂ්ටික බෝම්බයක් පිපිරවීමට අදාළ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇති බවයි.
එහෙත් ඉරානය එම න්‍යෂ්ටික බෝම්බ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායලය 2024 ඔක්තෝම්බර් මාසයේදී මෙම පාර්චින් සංකීර්ණය වෙත ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරයට පෙර සහ පසුව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් පාර්චින් හි සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිල්ලකට විශාල හානියක් සිදුවී ඇති ආකාරය දිස් වූ අතර දැන් එය ප්‍රතිසංස්කරණය කර ඇති බව පෙනී යනවා.
එමෙන්ම න්‍යෂ්ටික ක්‍රියාවලියට අදාළ යුරේනියම් ගබඩා කර ඇති ප්‍රධාන මධ්‍යස්ථාන තුනෙන් එකක් ලෙස සැලකෙන එස්ෆහාන් න්‍යෂ්ටික සංකීර්ණයට ද අමෙරිකා එක්සත් ජනපදය මඟින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර එහි ද ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
