බුදු දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වූ නතාෂාගෙන් CIDය සමාව අයදී…

ICCPR සම්බන්ධයෙන් නතාෂාගේ කොන්දේසිය ක්‍රියාත්මක කරන්න සති දෙකක් ඇතුළත පොලිස් චක්‍රලේඛයක් නිකුත් කිරීමටත් නියෝග..

බුදුන් වහන්සේගේ ගිහි ජීවිතයට අදාළ සිදුවීමක් මෝඩාභිමානය නම් ප්‍රහසනාත්මක වැඩසටහනේ දී උපහාසයට ලක් කළ බවට චෝදනා යටතේ සිවිල් ක්‍රියාකාරිනියක් හා ප්‍රහසන රංගන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරිය අත්ඩංගුවට පත් වුණේ 2003 වසරේදීය.

එම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ බලංගොඩ කස්සප හිමි සිදු කළ පැමිණිල්ලකට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇයට ලිඛිතවම කනගාටුව පළ
කර තිබෙනවා.

එසේම නතාෂා එදිරිසූරිය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කොන්දේසියකට එකඟ වන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම පනත යටතේ මින් ඉදිරියට නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා මගින් සියලු ම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පළ කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී පවසා තිබුණා.

තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව අද විනිසුරු පී. පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස කනගාටුව පළ කිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳ දැනුම් දීමත් සිදු කෙරුණා.

ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළ බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් ලිඛිතව ඉදිරිපත් කළ කනගාටුව පළ කිරීමේ ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා.

“අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.”

Latest News

error: Content is protected !!