ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කේම්බ්‍රිජ් සංගමය අමතා පැවැත්වීමට නියමිතව තිබූ ඉතිහාසගත වන දේශනය එක්සත් රාජධානියේ දෙමළ ඩයස්පෝරාවේ කොටස්වල දැඩි විරෝධය හේතුවෙන් අවලංගු කර ඇතැයි වාර්තා වෙනවා.
පෙබරවාරි මස අවසානයේ ඔහු එක්සත් රාජධානියට කළ සංචාරයේදී ඔක්ස්ෆර්ඩ් සංගමය සහ කේම්බ්‍රිජ් සංගමය යන දෙකම ඇමතීමට ඔහුට ආරාධනාවක් ලැබී ඇති බව එම පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් එක්සත් රාජධානිය පුරා සිටින දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ චෝදනා ලැබූ LTTE ආධාරකරුවන් මෙම අවස්ථාවට ඔහුගේ සහභාගීත්වයට එරෙහිව දැඩි විරෝධයක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ සංවිධානය (Tamil Youth Organization of Britain) නාමල්ට ලබා දී තිබූ දේශනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්ය.
මේ අනුව විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ පීඩනය මධ්‍යයේ සංවිධායකයින් කේම්බ්‍රිජ් සංගමයේ දේශනය අවලංගු කිරීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම දේශනය අවලංගු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගේ පාර්ශවයෙන් අදහසක් පළ කර නැහැ. කේම්බ්‍රිජ් සංගමය ඓතිහාසික විවාද සහ නිදහස් කථන සමාජයක් වන අතර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විශාලතම සංගමය බව ද සඳහන්ය.
