කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා.
පත්මේ ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතතුරදී මෙම කරුණු අනාවරණය වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ වන විටත් එම අනාවරණය වූ කරුණු අනුව යමින් දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා.
ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.
එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා. සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා” යැයි සඳහන් කර සිටියා.
