ලොව ප්‍රකට විශ්වවිද්‍යාල ලෙස සැලකෙන එංගලන්තයේ කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවලින් දේශන දෙකක් සඳහා ලැබුණ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එංගලන්තයට පිටත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් වාර්තා වී ඇති ආකාරයට ඔහුගේ කේම්බ්‍රිජ් සරසවියේ දේශනය මේ වන විටත් අවලංගු කර හමාරය.
එංගලන්තයේ කේම්බ්‍රිජ් යුනියන් හා ඔක්ස්ෆර්ඩ් යූනියන් විසින් පවත්වන සම්මන්ත්‍රණ සඳහා දේශන දෙකක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ට සහභාගී වන මෙන් ලිඛිතව ආරාධනා කර තිබුණේ මීට සති කීපයකට පෙර සිටය.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට හිතවාදී පිරිස් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමඟ කේම්බ්‍රිජ් සරසවියේ සංවිධායකයන්ට එම දේශනය අවලංගු කිරීමට සිදු වී ඇති බවයි ඊයේ වන විට වාර්තා වුණේ.
එසේ නමුත් ඔක්ස්ෆර්ඩ් සරසවිය ඩයස්‌පෝරා තර්ජන හා ඉල්ලීම් මැද දේශනය අවලංගු කිරීමට තවමත් තීරණය කර නොමැති බව ද ඒ අතර වාර්තා වී තිබෙනවා.
එම නිසා කේම්බ්‍රිජ් දේශනය අවලංගු වුවත් නාමල් ඇතුළු ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායම ඔක්ස්ෆර්ඩ් දේශනය පිළිබඳ බලපොරොත්තු සහගතව එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
මීට පෙර අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එම සරසවිවල දේශනවලට සහභාගී වීමේ අවස්ථාව ලැබී තිබුණා.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනෙකු වන දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාට හා ලක්ෂ්මන් කදිරගාමර් මහතා මීට පෙර එම දේශනයන් සඳහා ඇරයුම් ලැබූ කෘතහස්ත දේශපාලනඥයින් වෙනවා.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද එවන් ආරාධනයක් කර තිබුණත් අවසාන මොහොතේ ලන්ඩනයේදී එය පැවැත්වීමට නොහැකි වූයේ මේ ආකාරයෙන්ම කොටි ඩයස්පෝරාවේ බරපතළ විරෝධතා කලබල කිරීම් හේතුවෙනි.
නාමල් රාජපක්ෂ සමඟ මෙම ගමනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්, මිලින්ද රාජපක්ෂ, තේනුක විදානේගමගේ සහ යූ වී සුමිත් සහභාගී වී තිබෙනවා.
