එංගලන්තයේ දී බිරිඳගේ ජීවිතය අවසන් කළ ශ්‍රී ලාංකිකයාගේ ඉරණම තීන්දු වේ

තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කිරීමේ වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් නියෝග කර තිබෙනවා.

2025 අගෝස්තු 21 වැනිදා කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේ දකුණු මෝගන් පෙදෙසේදී සිදුවූ මෙම පිහි ඇනුමෙන් 32 හැවිරිදි නිවුන්හැල්ලලාගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.

එම ඝාතනයේ නඩු විභාගය අතරතුර ඉකුත් ජනවාරි මාසයේ ඇයගේ සැමියා වූ 37 හැවිරිදි තිසර වේරගලගේ නම් තැනැත්තා විසින් එහි වරද භාර ගැනීමෙන් අනතුරුව ඔහුට මෙම දඬුවම ලබා දීමට අධිකරණය තීරණ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විවාහ ජීවිතයෙන් වෙන් වීමට ගත් තාවකාලික තීන්දුවක් හමුවේ මෙම අනපේක්ෂිත අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඔහු විසින් ඇයට තියුණු ආයුධයකින් පහර දීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව වරද පිළිගත් ලාංකිකයාට එම අධිකරණය මෙම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම පනවා තිබෙනවා.

අදාළ නඩු විභාගයේ දී අනාවරණය වී ඇත්තේ ඝාතන සඳහා ඔහු සිය ආදරණීය බිරිඳට සෙන්ටිමීටර 15ක පමණ වූ උල් පිහියකින් ඇණ ඇති බවයි.

ඔහු විසින් ඇගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුකර තිබූ අතර, නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර ඇය එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවයි වාර්තා වුණේ.

අදාළ ප්‍රහාරය කෙතරම් දරුණුද යත්, ප්‍රහාරයට භාවිතා කළ පිහියේ මිට පවා කැඩී ගොස් තිබුණා.

මෙම යුවළ මිතුරෙකු හරහා මුණගැසී 2017 දී ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති අතර, පසුව දෙදෙනාම වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් කලක් ගතවද්දී ඔවුන් දෙදෙනාගේ විවාහයේ ගැටලු ඇති වී ඇති අතර ඒ හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේ සිට නිවාස දෙකක ජීවත් වී තිබෙනවා.

Latest News

error: Content is protected !!