ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ප්‍රතිචාර ලෙස ලෝකයේ සියලු රටවල් සඳහා අය කරන බදු අනුපාතය 10% සිට 15% දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු IEEPA (International Emergency Economic Powers Act) යටතේ පැනවූ තීරු බදු අහෝසි කිරීමේ තීන්දුවෙන් පසු ජනාධිපති ට්‍රම්ප් ඊට එරෙහිව ගෝලීය ආනයන සඳහා 10%ක තීරු බදු පැනවූ අතර දිනකට පසු නැවත 15% දක්වා එය වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අධිකරණය ඉකුත් සතියේ ප්‍රකාශ කළේ එම පනත මඟින් ජනාධිපතිවරයාට තීරුබදු ගාස්තු පැනවීමට බලයක් නොමැති බවයි.
මෙම අනුපාතය පනවා ඇති කාලය දින 150ක කාලයක් සඳහා වන බවත් එතෙක් ඉදිරියට නව නීතිමය ක්‍රම සකස් කරන බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය ඇමෙරිකා ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත් කළ තීරණයක් වූ අතර තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ද දැඩි ලෙස විවේචනය කිරීමට කටයුතු කර තිබුණා.
මෙම ඉහළ ආනයන බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වෙළඳ සබඳතා නැවත වතාවක් උණුසුම් කිරීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
