කාන්තාවන්ට සියලු දේ තහනම් වූ රටේ කෙස්වැටිය කපා පිරිමියෙකු ලෙස ජීවත්වන දැරිවිය.. ‘නෝරියා’

ඇෆ්ගන් කෙටි චිත්‍රපටයක් වන Osama හි කතා තේමාව වුණේ තලේබාන් පාලන සමයේ සිය පවුල ජීවත් කිරීම සඳහා කෙස් වැටිය කපා දමා පිරිමි ළමයෙකු ලෙස ජීවත් වීමට පටන් ගත් කුඩා දැරියක පිළිබඳ කතාවකි.

නෝරියා යනු Osmaහි කොණ්ඩය කපා දැමූ දැරිය නොවේ. ඇය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සැබෑ වීඩොයෝවක සිය කොණ්ඩය කපා දමා පිරිමි දරුවෙකු සේ ජීවත් වීමට පටන් ගත් සැබෑම දැරියකි.

එම වීඩියෝවේ “නෝරියා” ලෙස හඳුන්වාගන්නා 13 හැවිරිදි දැරිය පවසන්නේ තමා ගෝර් ප්‍රාන්තයෙන් පැමිණි බවයි.

වසර තුනක් නූර් අහමඩ් නම් පිරිමි නමෙන් තැන් තැන්වල වැඩ කළ ආකාරය ඇය මෙහිදී අනාවරණය කරනවා.

දැඩි දුප්පත්කම නිසා පිරිමි ඇඳුම් ඇඳ වැඩ කිරීමට තමාට සිදුවූ බව ඇය එහි කියනවා. පියා මියගිය පවුල පෝෂණය කිරීම සඳහා හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කැෆේ එකක වැඩ කිරීමට සිදුවූ බවයි ඇය එහි සඳහන් කරන්නේ.

“මට දෙවියන් වහන්සේ හැර වෙන කිසිදු ආධාරකරුවෙකු නැහැ. මේක කළේ අවශ්‍යතාවය නිසා. කවුරුත් මෙහෙම දෙයක් කැමැත්තෙන් කරන්නේ නැහැ. මගේ පියා මියගියා”

පියා මිය ගිය පවුලක කාන්තාවන්ට වැඩ කිරීම තහනම් වූ විට ඇතිවන තත්ත්වය මොළයක් ඇති කිසිවකුට සිතා ගැනීම දුෂ්කර නැහැ.

තලේබාන් මුල් පාලන සමයේ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් වුණා.

සිය පවුල් ජීවත් කරවීම සඳහා රැකියාවක් කිරීමට නොහැකි වීමෙන් එරට කාන්තාවන් බහුතරයක් අසරණ භාවයට පත් වීමටත් සැමියා, පියා හෝ සහෝදරයකු යටතේ දැඩි පීඩනයකට නතුවීමටත් සිදු වූ බවයි වාර්තා වුණේ.

මෙම වීඩියෝවේ තලේබාන් සාමාජිකයෙකු දැරියගෙන් ප්‍රශ්න කරන ආකාරය සටහන් වී තිබෙනවා. එය කවදා, කොහේදී හෝ කුමන තත්ත්වයන් යටතේ රූගත කළේද යන්න කිසිවකු විසින් හෝ තහවුරු කර නැහැ.

මෙය සමාජ මාධ්‍යවල පැතිරීමත් සුපුරුදු පරිදි මානව හිමිකම් ක්‍රියාකාරීන්, නීතිවේදීන් සහ ජනතාව අවදි වී එය විවේචනය කරමින් සිටින බව පැවසෙන්නේ.

එහෙත් ත‍ලේබාන් පාර්ශවය සඳහන් කරන්නේ මෙය නවතම සිදුවීමක් නොවන බවත් මීට වසර හතරකට පෙර සිදුවූ සිදුවීමක් බවයි.

එරට සදාචාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු මෙය වසර හතරකට පෙර වීඩියෝවක් බවත් එය එම වකවානුවේම විසඳා ඇති බවත් සඳහන් කර තිබෙනවා.

එහෙත් ඔවුන් එය සාක්ෂි මගින් ඔප්පු කිරීමටද සමත් වී නැහැ.

මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය තලේබාන් යටතේ කාන්තාවන් හා දැරියන්ට එරෙහිව සිදුවන අහෝසි කළ නොහැකි අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරයෙන් පාපෝච්චාරණ ලබා ගැනීම් සහ පොදු අපහාස කිරීම් වැනි ක්‍රියාපටිපාටිවලම කොටසක් බවයි.

“Human Rights Activists Union” නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ දැරියගේ ප්‍රශ්න කිරීම රූගත කර ප්‍රචාරය කිරීම මූලික මානව හිමිකම් උල්ලංඝනයක් බවයි.

ඔවුන් දැරිය වහාම හා කොන්දේසි රහිතව නිදහස් කරන ලෙසත්, මෙම සිද්ධිය මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස ලේඛනගත කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා තිබෙනවා.

මෙය ළමා ආරක්ෂණ නීති, පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සහ මූලික මානව ගෞරවය උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ ආර්ථික අර්බුද සහ දැඩි ලිංගික සීමා අදත් කාන්තාවන් හා දැරියන් මෙවැනි භයානක තීරණවලට තල්ලු කරමින් පවතින බවට මෙය හොඳම උදාහරණය බවයි.

2021 දී නැවත බලයට පැමිණීමෙන් පසු තලේබාන් පාලනය කාන්තාවන් හා දැරියන්ට එරෙහිව විශාල සීමා පැනවුවා.

ඒ අනුව ඔවුන්ට මධ්‍යම හා උසස් අධ්‍යාපනය තහනම් වුණා. රැකියා අවස්ථා දැඩි ලෙස සීමා කිරීම දැඩි ඇඳුම් නීති හා ගමන් සීමා පැනවීම ඒ අතරට ඇතුළත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙම පියවර විවේචනය කරමින් ගැඹුරු මානව හිතවාදී සහ මානව හිමිකම් අර්බුදයක් පිළිබඳ අනතුරු අඟවා තිබෙනවා.

එසේ වුවද, තලේබාන් පාර්ශවය පවසන්නේ තමන් ඉස්ලාමීය නීතිය සහ ඇෆ්ගන් සංස්කෘතිය පිළිබඳ අර්ථකථනයට අනුව කාන්තා අයිතිවාසිකම්වලට ගෞරව කරන බවයි.

එය ජාත්‍යන්තර සංවිධාන සහ ඇෆ්ගන් ක්‍රියාකාරීන් විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන පසුබිමක ඔවුන් ඔවුන්ගේ දණ්ඩ නිති සංග්‍රහයට නව සංශෝධන සිදු කරමින් ගැහැණියකගේ අස්ථි කැඩෙනතුරු ගෘහස්ත හිංසනය නීති ගත කර තිබෙනවා.

එම නව නීති වලට අනුව ගැහැණියකට පිරිමියෙකුට එරෙහිව අධිකරණයක් හමුවට යා හැක්කේ ඇගේ අස්ථි බිඳී ගිය අවස්ථාවක පමණි.

ඇඟ නිල්වන තුරු පහර කෑවද එම කැළැලල් හෝ පෙන්වීමට ඇයට හැකියාවක් නැහැ.

ගැහැණියකට අස්ථි බිඳ දමන තුරු පහර දුන් සැමියකුට උපරිම දඬුවම දින 15ක සිර දඬුවමක් පමණි.

Latest News

error: Content is protected !!