සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය බරපතල ආකාරයෙන් විවේචනය කර ඇතැයි වාර්තා වෙනවා.
ව්‍යවස්ථාදායක සභාවේදී සජබය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඔහු මෙම විවේචනය ඉදිරිපත් කර ඇති අතර, එහිදී මේ සම්බන්ධයෙන් දැඩි වචන හුවමාරුවක්ද සිදුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
මෙහිදී සුජීවගේ මතය වී ඇත්තේ විගණකාධිපති ධුරය සඳහා සිවුවැනි වතාවට අනුර නම් කර එවූ නියෝජ්‍ය විගණකාධිපතිවරියක වූ ජයරත්න මහත්මියගේ නම සම්මත කිරීමට සජබය අත එසවීම වැරැදි පූර්වාදර්ශයක් බවයි.
සජබය වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සජිත් සහ අජිත් පී. පෙරේරා යන දෙදෙනාම මෙසේ ඔහුගේ විවේචනයට ලක් වී ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
‘කවුද මේ තීන්දු තීරණ ගන්නේ? කොහොමද මේ තීන්දු තීරණ ගන්නේ? කවුද මේවට වගකියන්නේ? මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ මන්ත්‍රී කණ්ඩායමේ කවුරුත් දන්නේ නෑ. මේ විදියටම අග්‍රවිනිශ්චයකාරතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. පොලිස්පතිතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. මේවා ගැන තීන්දු තීරණ ගනිද්දී මීට වඩා විනිවිදභාවයක් තියෙන්න ඕනේ. එක ස්ථාවරයක් තියෙන්න ඕනේ.‘ යනුවෙන් මුජිබර් කියද්දී මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනාවට පිළිතුරු ලබාදීමට සජිත් කටයුතු කර ඇති බව ද වාර්තා වෙනවා.
සජිත් එහිදී කියා සිටියේ, ‘අපි ඒ යෝජනාවට පක්ෂ වුණේ මේක ඇතුළේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ නිසයි.’ යැයි කියාය.
‘බැලන්ස් වෙන්නේ කොහොමද? මොනවද බැලන්ස් කරන්නේ? වැරැදි නම් ඒක වැරැදියි. ආයේ බැලන්ස් කරන්න දෙයක් නෑ. එක එක්කෙනාගේ වුවමනාවන්වලට අපිට වැඩ කරන්න බෑ. මුලින් එක තීන්දුවක් ගත්තා නම් ඒ ස්ථාවරයේම අපි දිගටම ඉන්න ඕනේ. අපිටත් අල්ලස් කොමිසමේ පැමිණිලි තියෙනවා. අපේ පැමිණිලි විමර්ශනය වෙද්දී විගණකාධිපති වාර්තාව දවස් දෙකෙන් එනවා. හැබැයි වෙන අයගේ පැමිණිලි විභාග කරද්දී විගණකාධිපති වාර්තා මාස ගණන් පරක්කු කරනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මම කියන්නේ මේ උසස් තනතුරු ගැන තීන්දු තීරණ ගනිද්දී පක්ෂය ඇතුළේ එක ස්ථාවරයක් තියෙන්න ඕනේ කියලයි…’ නායකයාගේ මතයට විරෝධය පාමින් සුජීව එසේ පැවසූ බව සඳහන්ය.
