ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස විරුද්ධ වූයේ එවකට රජිව් ගාන්ධි යටතේ පැවති ඉන්දීය රජයට සහ ශ්‍රී ලංකාවේ ජේ.ආර් ජයවර්ධන රජයට මෙන්ම ඔවුන් අනුගමනය කළ දේශපාලන ප්‍රතිපත්තිවලට බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පුවත්පත් සාකච්ඡාවකට ඔහුගේ ප්‍රථම ඉන්දීය සංචාරයේ අත්දැකීම විස්තර කරමිනි.
සිය පක්‍ෂය කිසිවිටෙකත් ඉන්දියානු විරෝධී ස්ථාවරයක නොසිටි බවත් විරුද්ධ වූයේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමක් රටමත බලහත්කාරයෙන් පටවන ලද එවකට පැවති ඉන්දීය රජයේ ක්‍රියා මාර්ගවලට පමණක් බවයි ඔහු මෙහිදී සඳහන් කර ඇත්‍තේ.
ඉන්දියාව මේ වන විට වෙනස් වී ඇති අතර අගමැති මෝදි සැබෑ මිතුරෙකු බව විශ්වාස කරන්නේ යැයි ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.
ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහනට සහභාගී වීමට ඔහුට ඉන්දීයා මහ කොමසාරිස් කාර්යාල හරහා ලැබුණු ආරාධනය අනුව මෙම සංචාරය සිදුවුණා.
එම සංචාරය අතරතුර ගමන් කිරීමට කැමති ස්ථාන පිළිබඳ තමාගෙන් කළ විමසීමකදී “මට කේරළට යන්න ඕන කියලා මම කිව්වා. මොකද ඒක ශ්‍රී ලංකා වගේ කියලා මට හැඟුනා” යනුවෙන් ඔහු පවසා තිබෙනවා
ඔහු එහිදී නිරීක්ෂණය සඳහා අමුල් ව්‍යාපාර සමූහයටද ගොස් තිබුණා.
පසුගිය රජය විසින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ මිල්කෝ හා අමූල් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට දැඩි විරෝධයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.
එහිදී ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය රජයේ යටතේ පැවතීම පිළිබඳ තමා ඉන්දීය රජයට පැහැදිලි කළ බව ඔහු පවසා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඉන්දියාව දෙස සැකයෙන් බලා ඉන්දීය විරෝධී ස්ථාවරත්වයක් ගත්‍තා. ඔබ ඔහුගේ ප්‍රතිපත්තිය අත ඇරියාද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රධාන ලේකම්වරයා පිළිතුරු දී තිබුණේ මෙසේය.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පෙකණි වැලක් මෙන් එකිනෙකාට බැඳී තියෙනවා. අපගේ සංස්කෘතිය සහ ආගම සියල්ලම සම්බන්ධ වෙනවා. බුද්ධාගම පැමිණියේ ඉන්දියාවෙන්. ඉන්දියාව අපගේ එකම ආසන්න අසල්වැසියා. අපේ රටට හානිකර ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දියානු ආණ්ඩු සිටි විට ගැටළු මතුවී තිබෙනවා. අපි කිසිවිටකත් එහි ජනතාවට විරුද්ධ වී නැහැ. එහෙත් අපි ඉන්දියාවේ ඇතැම් ආණ්ඩුවල ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙලා තියෙනවා.
ඉන්දියාවේ ඇතැම් ආණ්ඩු වල ක්‍රියාමාර්ග නිසා සැකයක් ඇති වුණා. ඒ සැකය ඉන්දීය රජයේ වර්තමාන ක්‍රියාමාර්ග එක්ක දුරු වෙයි. වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්ති සමඟ සැකය පහව යන බව මට හැඟෙනවා. ඉන්දියාව ගැන බොරු බියක් නිර්මාණය කිරීමට උත්සාහ කරන සමහරු ඉන්නවා. ඉන්දියාව ඉල්ලුවොත් ඉන්දියාවේ ඉදිරියේ දණගහන්න කැමති අය ඉන්නවා. අතීතයේදී අපට ඉන්දියාව කෙරෙහි කෝපයක් ඇති වුණේ ඒ කාලයේ ශ්‍රී ලංකාවේ පාලකයන්ද ඒ පීඩනවලට මුහුණ දීමට තරම් ශක්තියක් ඔවුන්ට තිබුණෙ නැහැ.”
