ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වන යුධ ආතතිය මධ්‍යයේ, ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමේ අවසන් තීරණය තමා සතුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරානය සමඟ යුද්ධයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා නිලධාරියෙක් අනතුරු අඟවා ඇති බවට පළ වූ වාර්තා ද ප්‍රතික්ෂේප කරමින්ය.
මේ අනුව ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඉරානයට එරෙහිව යුද්ධ කිරීමට ඒකාබද්ධ සන්නද්ධ හමුදා ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් විරුද්ධ වන බවට පළ වූ පුවත් සියයට සියයක්ම අසත්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.
යුද්ධයක් ඇතිවීම කිසිවෙකුත් කැමති නැති දෙයක් බව ප්‍රකාශ කළ ට්‍රම්ප්, ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවුවහොත් එය “පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි” බවට ජෙනරාල් කේන් අදහස් පළ කර ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.
ඉරානය සමඟ යුධ කිරීමට ඇමෙරිකාවට ඇති හැකියාව පිළිබඳ පළවන සියලු වාර්තා ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමේ “අවසන් තීරණය” තමා සතු අතර තමා වඩාත් කැමති වන්නේ ඉරානය සමඟ ගිවිසුමක් සමඟ එකඟතාවයකට බව ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් එය සාක්ෂාත් නොවුවහොත් ඉරානයට ඉතා නරක දවස් උදාවෙනු ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක් පළ කළ වාර්තාවලට අනුව ජෙනරාල් කේන් ධවල මන්දිර රැස්වීමකදී ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුමක් සඳහා අවශ්‍ය යුධ අවි ගබඩා සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත් වෙනත් රාජ්‍යවලින් සහයෝගය ද අවම අවස්ථාවක ඉරානයට ප්‍රහාර එල්ල කිරීම අවදානම් සහගත වනු ඇති බවයි.
පෙන්ටගනයේ රැස්වීම්වලදී ජෙනරාල් කේන් ඉරානයට එරෙහි ඕනෑම මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක සංකීර්ණත්වය, එහි පරිමාණය සහ ඇමරිකානු හමුදා භටයින්ට සිදුවිය හැකි අනතුරු පිළිබඳව තමා කණස්සලෙන් පසුවන බවයි පවසා තිබුණේ.
