පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පාකිස්ථානය මෙම යුද්ධය ස්ථාපිත කර ඇත්තේ දේශ සීමා සටන් තියුණු ලෙස උත්සන්න වීම මධ්‍යයේය.
මෙම තීරණය දැනුම් දෙමින් පාකිස්තානය පවසන්නේ ඇෆ්ගන් තලේබාන් හමුදා කිසිදු උත්තේජනයක් නොමැතිව කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. එයට ප්‍රතිචාර ලෙස “ක්ෂණික හා ඵලදායී” ප්‍රතිප්‍රහාරයක් දියත් කළ බවද ඉස්ලාමාබාද් බලධාරීන් සඳහන් කර තිබෙනවා.
ඉස්ලාමාබාද් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, පසුගිය බ්‍රහස්පතින්දා ඇෆ්ගන් සටන්කාමීන් විසින් තම හමුදා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වීම හමුවේ ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන බවකි.
මෙම නවතම ගැටුම්, දෙරට අතර මාස ගණනාවක් පුරා වැඩිවෙමින් තිබූ ආතතියේ තවත් වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ. පසුගිය සතියේ පාකිස්තාන ගුවන් ප්‍රහාර (නන්ගහාර් Nangarhar) සහ පක්ටිකා (Paktika) ප්‍රාන්තවලට එල්ල කර තිබූ අතර, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් අවම වශයෙන් 13 දෙනෙකු මියගොස් ඇති බව ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහායක මෙහෙයුම (UNAMA) ප්‍රකාශ කර තිබෙනවා.
ඔක්තෝබර් මාසයේ සිදු වූ මරණාන්තික ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයෙන්ම 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර එතැන් සිට දේශ සීමා බොහෝ දුරට වසා දැමුණා. කටාර් හා තුර්කිය මැදිහත් වෙමින් සිදු කළ සාකච්ඡා ඇතුළු සමහර සමථකරණ උත්සාහයන් ද මේ වනවිට අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.
