ජයසූරිය ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වෙයි?

ICC පිරිමි T20 ලෝක කුසලානයේ අද (28) පැවැත්වෙන සුපිරි අට තරගයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් ජයසූරිය ඉවත් වන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඔහු මෙවර ලෝක කුසලානයෙන් පසු ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව මීට පෙරද ප්‍රකාශ කර තිබුණා.

ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගු වුවද, තරඟාවලියෙන් ඔබ්බට එම තනතුරේ දිගටම කටයුතු කිරීමට ඔහුට කිසිදු අදහසක් නොමැති බව ජයසූරිය මේ වන විට තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ජයසූරිය පළමු වරට අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවේ 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා තරඟාවලිය සඳහාය.

පසුව එම වසර අවසානයේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවලින් මුළු තරඟ 74 ක් ක්‍රීඩා කර ඇති අතර, ජයග්‍රහණ 34 ක් සහ පරාජයන් 38 ක් වාර්තා කර තිබෙනවා.

තරඟ දෙකක් අවසන් වුණේ ප්‍රතිඵලයක් නොමැතිවයි.

Latest News

error: Content is protected !!