ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා ‘ප්‍රධාන සටන් මෙහෙයුම්’ ආරම්භ කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායල ටෙහෙරානයට “පූර්ව ප්‍රහාර” ආරම්භ කිරීමෙන් පසුව ට්‍රම්ප් ඇමෙරිකාවේ තීරණාත්මක මැදිහත් වීම එසේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයාගේ නිවස සහ බුද්ධි අංශ මූලස්ථානය ඇතුළුව ඉරානය පුරා ඉලක්ක 30 කට අධික සංඛ්‍යාවකට මේ වන විට ප්‍රහාර එල්ල වී ඇති කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
“ඉරානයේ ශ්‍රේෂ්ඨ ආඩම්බර ජනතාවට මම කියමි, ඔබේ නිදහසේ හෝරාව අත ළඟයි. ආරක්ෂිතව සිටින්න, ඔබේ නිවසින් පිටව නොයන්න. එය ඉතා භයානකයි, පිටත සෑම තැනකම බෝම්බ හෙළනු ඇත.” ට්‍රම්ප් ඔහුගේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
“අපි පහර දී අවසන් වූ පසු ඔබේ රජය භාර ගන්න. එය ඔබට භාර ගැනීමට සිදුවනු ඇත. මෙය පරම්පරා ගණනාවක් තිස්සේ ඔබට ඇති එකම අවස්ථාව වනු ඇත. වසර ගණනාවක් තිස්සේ ඔබ ඇමරිකාවේ උදව් ඉල්ලා සිටියත් ඔබට එය කිසිදා නොලැබුණි. අද රාත්‍රියේ මා කරන දේ කිරීමට කිසිදු ජනාධිපතිවරයෙකු කැමති වූයේ නැත. දැන් ඔබට අවශ්‍ය දේ ලබා දෙන ජනාධිපතිවරයෙක් සිටී. ඉතින්, බලා සිටින්න.. ඇමෙරිකාව අති මහත් ශක්තිය යොදවා ඔබට සහාය දෙන්නෙමු” යැයි ද එහි සඳහන්ය.
ට්‍රම්ප් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවට, සන්නද්ධ හමුදාවලට සහ පොලිසියට යටත් වෙන ලෙස හෝ මරණයට මුහුණ දෙන ලෙසට අනතුරු අඟවා තිබෙනවා.
ප්‍රහාරය අතරතුර ඉරාන අධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා කමේනි ඔහුගේ මූලස්ථානයේ සිටියාද නැතහොත් එයින් ඔහුට තුවාල සිදුවී ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතය.
ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ උත්තරීතර නායකයා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය බවයි.
