ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව වන USS Abraham Lincoln වෙත බැලිස්ටික් මිසයිල එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය හමුදාව (IRGC) ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් මෙම ප්‍රහාරය දියත් කරනු ලැබුවේ ඇමරිකානු හා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මිය යාමට සිදු කරන පළිගැනීමේ මෙහෙයුම්වල කොටසක් ලෙසයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ආකාරයට “USS Abraham Lincoln ගුවන් යානා වාහක නෞකාව වෙත බැලිස්ටික් මිසයිල 4ක් එල්ල කළ බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රකාශය අර්ධ-රාජ්‍ය මාධ්‍යයක් වන Mehr News Agency විසින්ද X හරහා ප්‍රචාරය කර තිබුණා.
කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම හමුදා විධානය United States Central Command (CENTCOM) එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එය “අසත්‍ය ප්‍රකාශයක්” බව ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.
CENTCOM X හි පළ කළ ප්‍රකාශයක සඳහන් වූයේ,
“Lincoln නෞකාවට කිසිදු පහරක් එල්ල වී නැහැ. එල්ල කළ මිසයිලවලට නෞකාවට සමීප වීමටවත් නොහැකි වුණා. Lincoln නෞකාව තවදුරටත් CENTCOM මෙහෙයුම්වලට සහාය ලබාදෙමින්, ඉරාන රජයෙන් ඇතිවන තර්ජන වලට එරෙහිව ක්‍රියාකරමින් පවතී.”
USS Abraham Lincoln යනු ඇමරිකානු නාවික හමුදාවේ Nimitz-පන්තියේ 5වන ගුවන් යානා වාහක නෞකාවයි. එය රේඩාර් මඟ හැරිය හැකි නවීන F-35 ස්ටෙල්ත් යානා ඇතුළත් අතර එහි ප්‍රහාර කණ්ඩායමට Tomahawk කෲස් මිසයිල ඇතුළත් නෞකා 3ක් ඇතුළත්ය.
