ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩ්නෙජාඩ් අමෙරිකා හා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලදී ඝාතනයට ලක්වීම පිළිබඳ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිය ශෝකය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ,
“අපි මේ දුෂ්කර අවස්ථාවේදී ඉරාන ජනතාව සමඟ සිටිනවා. යුද්ධය තෝරා නොගෙන, සියලු පාර්ශ්වයන් ඉවසීමෙන් කටයුතු කර, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතුයි” යනුවෙනි.
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස ද එහි සටහන් කර තිබෙනවා.
හිටපු ඉරාන නායකයා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉටුකළ මෙහෙවර පිළිබඳව ද ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
2008 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මහමුද් අහමඩිනෙජාඩ්, සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වැඩිදියුණු කිරීම සහ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට ද දායක වූ බව ද එහි දැක්වෙනවා.
එමෙන්ම ඉරානය සෑමවිටම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වූ බවත්, ප්‍රහාරවලින් මියගිය සියලු දෙනාගේ පවුල් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.
