වැඩිපුර ගෙනාවත් ගබඩා පහසුකම් නැහැ..
රට තුළ පවතින තෙල් සංචිත ඉදිරි මාසයක් වැනි කාලයකට ප්‍රමාණවත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.
මැද පෙරදිග යුධ වාතාවරණය හමුවේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ තෙල් සංචිත නැවත පිරවිය හැක්කේ ගබඩා කර ඇති සංචිත හිස් කිරීමෙන් පමණක් බවයි.
මේ අනුව රට තුළ දැනට දින 33කට ප්‍රමාණවත් ඩීසල් තොග සහ දින 27කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග සුරක්ෂිතව පවතින බව ජනාධිපතිවරයා කියා සිටියා.
මීට අමතරව එළඹෙන 07 සහ 08 දිනවලදී තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක නැවක් ළඟා වීමට නියමිත බැවින් පෙට්‍රල් සංචිතය දින 40ක් දක්වා ඉහළ යනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවා.
“අපිට ප්‍රධාන ප්‍රශ්නය තමා ගබඩාවල තිබෙන ධාරිතාව. මාස දෙක තුන තරම් කාලයක් තෙල් ගබඩා කිරීමට ධාරිතාවයක් අපේ ගබඩාවල නෑ. අපේ ගබඩා හැමවෙලේම කරන දේ තමා ඊළඟ නැව එනවිට ඒ තෙල් ගබඩා කිරීමට ගබඩා හිස් කරනවා. ගබඩා පුරවගෙනම ඉන්න බෑ. ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අතහැරියොත් කෙළොන්නාවේ සහ මුතුරාජවෙල මුළු ගබඩා ධාරිතාව 150,000ක් විතරයි. හැබැයි ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එද්දි ගබඩාව හිස් කරගන්න ඕන. ඒ නිසා නැව් එන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමා අපි ඉන්නේ. 103,000ක් ගබඩා පිරිලා තිබුණේ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් පිරිලා. අපි හොඳ සැලැස්මක හිටියා. ඒ අනුව අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා.
පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 106,187ක්. අර්බුදය මතුවෙද්දී මෙට්‍රික් ටොන් 136, 270ක ගබඩා ධාරිතාවයක් තිබුණා. අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩාවලින්ම තමා. අපිට තිබුණා නම් වෙනම සංචිත, ආරක්ෂිත ගබඩා කිරීමක් කරන්න වෙනම තොගයක් තිබුණා නම් එය ඔපරේෂන් සඳහා වෙනම පවත්වාගෙන යන්න තිබුණා. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නෑ. ඒ අනුව ඕනෑම මෙහොතකදී අර්බුදයකදී අපට තබාගත හැකි උපරිම ප්‍රමාණය අපි මේ මොහොත් රඳවා ගෙන හිටියා.
පෙට්‍රල් දින 27කට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. 7 හෝ 8 වෙනිදා තවත් නැවක් එනවා මෙට්‍රික් ටොන් 35,000ක. ඔක්කෝම ගත්තහම දින 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රෙටල් සංචිත අපි සතුව තියෙනවා. අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. ගබඩා හිස්වෙන ප්‍රමාණයට තමා තෙල් ගේන්න වෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ
ගුවන් යානා ඉන්ධන සැපයුම සාමාන්‍ය දෛනික සැපයුම මෙට්‍රික් ටොන් 1,800ක් පමණ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,080ක් හදනවා. ඉතුරු ටික අපි ආනයනය කරනවා. ඔක්කෝම ගත්තහම දින 49කට ගුවන් යානා ඉන්ධන සැපයුම් තියෙනවා. දවස ගතවෙද්දි නැවත ගබඩා හිස්වෙනවා. දැනට අපි නැව් ටික පෙළගස්වා තියෙනවා. RM Park සමාගම 14 වෙනිදා නැවක් එනවා. සිනෝපෙක් නැවක් එනවා 17 වෙනිදා. IOC නැවක් එනවා 21 වෙනිදා. තෙල් සංස්ථාවේ නැවක් 28 වෙනිදා එනවා.
දැන් තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ඇති. අපි තවත් නැවක් ගේන්වා. ඒ නැව තව දින 18කට ඇති. එතකොට අපිට බොරතෙල් දින 44කට බොරතෙල් පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා තෙල්වල කිසිදු අර්බුදයක් නෑ.”
