ඉරානය දකුණු මිනාබ් නගරයේ බාලිකා පාසලකට එල්ල කළ එක්සත් ජනපද – ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවියන් සහ කාර්ය මණ්ඩලය 165 දෙනෙකු වෙනුවෙන් සමූහ අවමංගල්‍යයක් පවත්වා තිබෙනවා.
මිනාබ් හි ගැහැණු ළමුන්ගේ පාසලකට මෙම ප්‍රහාරය එල්ල වුණේ සෙනසුරාදා ඉරානයට එරෙහිව එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කළ පළමු දිනයේදීය.
එය මෙතෙක් ටෙහෙරානයට එරෙහි මෙහෙයුමේ සිදු වූ මාරාන්තිකම සිදුවීම ලෙසයි සැලකෙන්නේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා දකුණු මිනාබ් නගරයේ අලුතින් හාරන ලද සොහොන් පේළි පෙන්වන රූපයක් බෙදා ගනිමින් මියගිය පාසල් සිසුවියන් 160 කට වැඩි පිරිසක් මිහිදන් කිරීමට සූදානම් බවයි සඳහන් කළේ.
විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි X හි මෙම ඡායාරූපය පළ කරමින් ට්‍රම්ප් පොරොන්දු වූ ‘ගලවා ගැනීම’ මෙයයි යනුවෙන් හද කම්පා කරවන සුළු සටහනක් ඊට යොදා තිබුණා.
ගාසා තීරයේ සිට මිනාබ් දක්වා අහිංසකයන් අමු අමුවේ ඝාතනය කළ බවත් බෝම්බ ප්‍රහාරයේදී දරුවන්ගේ සිරුරු “කැබලි වලට ඉරා දමා” ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
රාජ්‍ය රූපවාහිනියේ විශාල ජනකායක් ශෝකයෙන් රැස්ව සිටි ආකාරය පෙන්වූ අතර, “ඇමරිකාවට මරණය,” “ඊශ්‍රායලයට මරණය” සහ “යටත් වීම තහනම්” යනුවෙන් එහි රැස් වූ ජනතාව කෑගැසූ බවයි වාර්තා වන්නේ.
“ඇටෙනා” නම් ගැහැණු ළමයෙකුගේ මව ලෙස තමන්ව හඳුන්වා ගත් එක් කාන්තාවක් වින්දිත දරුවාගේ මුද්‍රිත ඡායාරූප ඔසවාගෙන “ඇමරිකානු අපරාධ පිළිබඳ ලේඛනයක්” යැයි හඳුන්වා තිබෙනවා.
කෙසේ වෙතත් එක්සත් ජනපදය හිතාමතා පාසලක් ඉලක්ක කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, යුද දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බවයි සඳහන් කර ඇත්තේ.
