අපි මුහුණ දුන් සෑම අභියෝගයකටම වඩා අවිනිශ්චිත තත්ත්වයක් දැන් උදා වී තිබෙනවා…
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය අද (03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙම යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට විශාල බලපෑම් එල්ල විය හැකි බවත් හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
වත්මන් ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව මෙවැනිම අභියෝග රැසකට ඉතා සාර්ථකව මුහුණදුන් බවත් මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝගය මින් පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් බවත් පැවසු ජනාධිපතිවරයා, වර්තමාන යුද තත්ත්වය කෙසේ විසඳාගත හැකිද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතභාවයක් බව ද මෙහිදී සඳහන් කළා.
රජයක් ලෙස නිරන්තරයෙන් මෙම තත්ත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටින බවත්, මහ බැංකුව විසින් වර්තමාන තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදුකර මෙරට ආර්ථිකයට ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාවක් අද හෝ හෙට හවස වනවිට ලබාදෙනු ඇතැයි ද ඔහු කියා සිටියා.
මුදල් අමාත්‍යාංශ මඟින් ජන ජීවිතයට ඇති වෙන බලපෑම සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කරමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා, විදෙස්ගත ජනතාව සහ මෙරට සිටින ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම ගැන ද වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවයි පැවසුවේ.
