ඇමරිකානු සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන රජයේ යුද නෞකාවක් ගිල්වා දැමීමෙන් පසු එක්සත් ජනපද – ඉරාන ගැටුම ‘ගෝලීය යුද්ධයක්’ බවට පත්ව ඇතැයි යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.
ඉරානයේ සිට සැතපුම් 2,000 ක් පමණ දුරින් ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් වූ IRIS Dena නෞකාවට ඇමරිකානු සබ්මැරීනයෙන් දියත් කරන ලද ටෝර්පිඩෝවක් මඟින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු හදිසි පණිවිඩයක් අනුව ගලවාගැනීමේ කණ්ඩායම් වහාම එම ස්ථානයට පිටත් කර යැවුණු බව රජය ප්‍රකාශ කළා.
IRIS Dena නෞකාවේ සෙබළුන් 32 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමත් වූ අතර මළ සිරුරු 87ක් සොයාගත් බවයි වාර්තා වුණේ.
තවත් 70 දෙනෙකු අතුරුදන්වී මියගොස් ඇති බවට සැක පළ කරන බව සඳහන් කෙරුණා.
බ්‍රිතාන්‍ය හිටපු නාවික හමුදා ප්‍රධානී Lord West පවසා ඇත්තේ මෙම සිදුවීම ඉතා භයානක එකක් වුවත් ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධ තත්ත්වයක් පවතින බැවින් එය යුද්ධයේ කොටසක් ලෙස සලකා බැලිය යුතු බවයි.
අද කාලයේ රටවල් නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ නොකරන නමුත් තත්ත්වය එම මට්ටමට පැමිණ ඇති බවයි ඔහු පවසන්නේ.
“දැන් මෙය ගෝලීය යුද්ධයක්. එම නිසා ඉරානය ලෝකයේ ඕනෑම ස්ථානයක ඇමරිකානු ඉලක්ක ප්‍රහාරයට ලක් කිරීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. දැන් සියලු දේ අතහැර දමා තිබෙනවා. අපි ඇත්තටම යුද්ධයක යෙදී සිටිනවා” යැයි ඔහු සඳහන් කර තිබෙනවා.
ඔහු එම ප්‍රහාරයෙන් මියගිය නාවිකයන් පිළිබඳව ද කණගාටුව පළ කරමින් කියා සිටියේ ඔවුන්ට කිසිදු අනතුරු ඇඟවීමක් නොලැබී ඇති බවයි.
“ඔවුන්ට කිසිදු අනතුරු ඇඟවීමක් තිබුණේ නැහැ. වීඩියෝවෙන් විශාල පිපිරීමක් දැකගත හැකියි. ටෝපිඩෝ (torpedoes) සාමාන්‍යයෙන් නැවට පිටතින් පිපිරීමට නිර්මාණය කරලා තියෙනවා”
මෙම ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පෙන්ටගනයේදී ප්‍රකාශයක් කරමින් “නිහඬ මරණයක්” (quiet death) ලෙස ප්‍රහාරය විස්තර කරනු ලැබුවා.
1945න් පසු ඇමරිකානු සබ්මැරීනයක් සතුරු යුධ නැවක් මෙසේ ගිල්වා දැමු පළමු අවස්ථාව මෙය බව ද ඔහු එහිදී සඳහන් කළා.
එයට පෙර 1982දී මහා බ්‍රිතාන්‍ය විසින් විසින් Falklands යුද මෙහෙයුම් අතරතුර අර්ජන්ටිනා නාවික හමුදාවේ ARA General Belgrano නැවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දමා තිබුනා.
