කොළඹ වාරය ආසන්නයේ තවත් ඉරාන නැවක්.. විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි..

අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් ඊයේ (04) දිනයේ දී නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද රජය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ඔහු කියා සිටියා.

එහෙත් ඊයේ දිනයේ දී රට ආසන්නයේ දී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටුකිරීමට බාධාවක් වූ බව ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරාගැනීම පිළිබඳව ප්‍රසංසාව පුදකරන බවද පැවසු විපක්ෂ නායකයවරයා, රාජතාන්ත්‍රක වශයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බව අවධාරණය කර තිබෙනවා.

මෙරට ස්වෛරීයභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමුකළ යුතු බරපතළ තත්ත්වයක් පැන නැගී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති ඉරාන ජාතික මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40 කන්ටේනර් රථ ඉල්ලා ඇති බවත් රජය මඟින් ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසු සජිත් විපක්ෂ නායකවරයා, අපේ රටේ මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාවන් රජය නොදැන සිටීම ජාතික ආරක්ෂාවට ගැටලු නොවන්නේ කෙසේ දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියා.

Latest News

error: Content is protected !!