දෙවැනි ඉරාන නෞකාව ගැන අමාත්‍ය නලින්දගෙන් ප්‍රකාශයක්

කොළඹ වරාය ආසන්නයේ පවතින බවට විපක්ෂ නායකවරයා පැවසූ දෙවැනි ඉරාන නෞකාව මෙරට මුහුදු සීමාවේ නොව, නාවික සැතපුම් 12න් ඔබ්බෙහි පිහිටි අනන්‍ය ආර්ථික කලාපයේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

මැදපෙරදිග යුද උණුසුම හමුවේ ඉන්දීය සාගර කලාපයේ මතුව ඇති තත්ත්වය සහ ඉරාන නෞකාවල ඉරණම පිළිබඳව රජයේ නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් ඔහු පැවසුවේ විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝ තොරතුරු රජය සතු බවයි.

එබැවින් ජීවිත හානි අවම කරගැනීම සහ කලාපීය සාමය රැකගැනීම වෙනුවෙන් රජය ඉතා සංවේදීව මැදිහත් වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවේ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මුලින්ම පණිවිඩය ලැබී ඇත්තේ මුහුදේ මෘත ශරීර පාවෙමින් පවතින බවටයි. ප්‍රහාරය පිළිබඳ සෙවීමට පෙර මානුෂීය පදනමින් ජීවිත බේරාගැනීමට නාවික හමුදාව ක්‍රියා කළ අතර, ඒ අනුව නාවිකයන් 32කු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද ඔහු පැවසුවා. ඉන් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට නාවිකයන් 87 දෙනෙකුගේ මෘත ශරීර ගොඩගෙන ඇති අතර, රජය සතු මෘත ශරීර තැන්පත් කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා පෞද්ගලික අංශයේ සහාය ඇතිව අමතර පහසුකම් කොළඹින් ගාල්ලට යැවීමට කටයුතු කර ඇති බව ඔහු පවසනවා.

ලංකාවට අයිති නාවික සැතපුම් 12ක සීමාවෙන් ඔබ්බෙහි ඇති අනන්‍ය ආර්ථික කලාපය තුළ අපට බලය ඇත්තේ ආර්ථික කටයුතුවලට පමණක් බවත්, යුද කටයුතුවලට මැදිහත් වීමේ සීමාවන් පවතින බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

එබැවින් ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව ඉන්දීය සාගරයේ සාමය ආරක්ෂා වන පරිදි රජය කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධ සවිස්තර වාර්තාවක් අද සවස් වන විට හෝ කටයුතු අවසන් වූ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙය දේශපාලන කෝන්තර පිරිමහන්නට හෝ ජනතාව කුපිත කරවන අසත්‍ය තොරතුරු පැතිරවීමට සුදුසු වෙලාවක් නොවන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

Latest News

error: Content is protected !!