ශ්‍රී ලංකාවට නුදුරින් මුහුදේ ප්‍රහාරයට ලක් වූ IRIS DENA ඉරාන නෞකා කාර්ය මණ්ඩලය ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, ඉන්දියානු මහා සාගරයේ සිදුවූ ප්‍රහාරයෙන් පසු ජීවිත බේරාගත් නාවිකයන් නැවත ඉරානයට නොයවන ලෙස ඇමරිකාව බලපෑම් කරමින් සිටින බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව පවසා තිබෙනවා.
මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව ඉල්ලා ඇති බවයි එහි සඳහන් වන්නේ.
බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමා තිබුණා.
ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය ගිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇතිව මුදාගත් 32 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව රොයිටර් වාර්තාව පෙන්වා දී තිබෙනවා.
ඒ සමඟම IRIS Booshehr නම් තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකාවේ අනන්‍ය මුහුදු තීරය Exclusive Economic Zone (EEZ) තුළ අතරමං වී සිටියදී එහි සිටි 208 නාවිකයින් ශ්‍රී ලංකාව විසින් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කළ බව ද එහි සඳහන්ය.
