ඉරාන අගනුවර ටෙහෙරානයට ඉරිදා උදෑසන හිරු එළිය පතිත නොවූ බවත් නගරය සම්පූර්ණයෙන් අඳුරු දූවිලි වායුවකින් වැසී තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊශ්‍රායලය විසින් සෙනසුරාදා රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් තෙල් ගබඩා කිහිපයක් ගිනි ගැනීමෙන් අනතුරුව එම ගින්නෙන් උඩට නැගුණු ඝන කළු දූවිලි රාත්‍රිය පුරාම අහස පුරා පැතිරී තිබුණු බවයි එම වාර්තා සඳහන් කර ඇත්තේ.
එම දූවිලි හේතුවෙන් උදෑසන හිරු එළිය පවා අඳුරු වී, හිරු උදාවූ පසුවත් නගරයේ බොහෝ ප්‍රදේශ අඳුරු වාතාවරණයක පැවතුණු බව සඳහන්ය.
වාර්තා අනුව ඊශ්‍රායල ප්‍රහාර ටෙහෙරාන් නගරය පුරා පිහිටි විශාල ඉන්ධන ගබඩා පහක් ඉලක්ක කරගෙන සිදු කර තිබුණා.
තවද කරාජ් නගරයේ පිහිටි ඉන්ධන ගබඩා කිහිපයක් සෙනසුරාදා රාත්‍රියේ සිට දිගටම ගිනි ගනිමින් පැවති බවද වාර්තා වෙනවා.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විශාල පිපිරීම් හේතුවෙන් ආසන්න ගොඩනැගිලිවල කවුළු බිඳී ගොස් තිබුණා.
සමාජ මාධ්‍යවල පැතිරෙන වීඩියෝවල රාත්‍රියේ අහස විශාල ගිනි බෝලවලින් වැසී ගොස් ඇති ආකාරය දැක ගත හැකියි.
කාන්දුවූ ඉන්ධන මාර්ගවල ගිනි ගනිමින් පැතිරෙන දර්ශනද එම වීඩියෝවල දක්නට ලැබුණා.
