අලි කමේනිගේ පුත් මොජ්ටබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරයි..

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටබා කමේනි (Mojtaba Khamenei) පත් කර ඇති බව එරට විශේෂඥයින්ගේ මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය අනුව, ඝාතනයට ලක් වූ හිටපු උත්තරීතර නායකයා වූ අලි කමේනිගේ පුත්‍රයා වන මොජ්ටබා කමේනි ඉරාන ඉස්ලාමීය ජනරජ පද්ධතියට පත් වූ තුන්වැනි උත්තරීතර නායකයා ලෙස හඳුන්වා දී තිබෙනවා.

විශේෂඥයින්ගේ මණ්ඩලය විසින් නිකුත් කළ දිගු ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ, විස්තරාත්මක හා ගැඹුරු සොයා බැලීම් කිරීමෙන් පසු අද පැවැති විශේෂ සැසිවාරයේ තීරණාත්මක ඡන්දයෙන් අයතුල්ලා සෙය්යෙද් මොජ්ටබා හොසේනි කමේනි උත්තරීතර නායකයා ලෙස පත් කරන බවයි.

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව (Islamic Revolutionary Guard Corps) නව උත්තරීතර නායකයාට තමන්ගේ පූර්ණ පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර නව නායකයා තෝරාගැනීමේදී තමාගෙන්ද විමසිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ඉරාන පාලන අධිකාරියෙන් දැඩි විවේචන එල්ල වී ඇති බව ද වාර්තා වෙනවා. ABC News සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ තමාගේ අනුමැතිය නොමැති උත්තරීතර නායකයකුට වැඩි කල් පැවතීමට ඉඩ නොතබන බවකි. එයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අර්ගචි ප්‍රකාශ කළේ නව උත්තරීතර නායකයා තෝරා ගැනීම ඉරානයේ අභ්‍යන්තර තීරණයක් බවයි.

Latest News

error: Content is protected !!