ලීක් වුණු වීඩියෝවකින් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බරපතල සැක සංකා මතුවේ

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රූපවාහිනී දේශනයක් රූගත කරමින් සිටියදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හදිසි කැස්සක් මතුවීම හේතුවෙන් රූගත කිරීම තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

73 හැවිරිදි පුටින් දේශනය අතරතුර කැස්ස පාලනය කළ නොහැකිවීම නිසා දේශනය නැවත ආරම්භ කිරීමට සිදු වූ බව සඳහන්ය.

එහෙත් එම අවස්ථාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝ දර්ශනය ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ විශාල අත්වැරැද්දකින් අහම්බෙන් විකාශය වීම හේතුවෙන් එය මහජනතාවට ද දැකගැනීමට ලැබුණු බවයි වාර්තා වන්නේ.

මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැක සංකා මතුවී ඇතැයි වාර්තා පවසනවා.

මීට පෙරද මොස්කව් මධ්‍යම වෛද්‍ය රෝහලේ තයිරොයිඩ් පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙකු වන Yevgeny Selivanov පුටින් සමඟ බොහෝ ගමන්වලට එක්ව සිටින බවට වාර්තා පළ වුණා. එම වාර්තා අනුව, ඔහු ඇතුළු වෛද්‍යවරුන් 13 දෙනෙකු පමණ පුටින් සමඟ ගමන් කරන වෛද්‍ය කණ්ඩායමක් තුළ සිටින බව සඳහන්ය.

යුද විශ්ලේෂකයකු වන ඩෙනිස් කසාන්ස්ක් මෙම අත්වැරදීම පිළිබඳ පුටින්ගේ ප්‍රචාරණ කණ්ඩායම දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙනවා.

“ඔබ තරුණ හා ශක්තිමත් නායකයෙකු පිළිබඳ ප්‍රතිරූපයක් ගොඩනඟනවා. පසුව යමෙකු එක් වීඩියෝවක් කාන්දු කළ පසු මුළු ප්‍රතිරූපයම බිඳ වැටෙනවා. ඉන්පසු සියලු දෙනා ඉදිරියේ පෙනී සිටින්නේ රෝගී, ජරාජීර්ණ මහලු මිනිසෙකි.”

මීට පෙර පුටින් ක්‍රෙම්ලින් හිදී බෙලාරුස් ජනාධිපති ඇල්කෙසැන්ඩර් ලුකාෂෙන්කෝ සමඟ පැවැත්වූ හමුවකදී ගත් වීඩියෝවක ඔහු ඉතාමත් වයස්ගත එල්ලා වැටෙන මුහුණක් හා වෙහෙසකර ස්වභාවයකින් සිටින ආකාරය අනාවරණය වී තිබුණා.

Latest News

error: Content is protected !!