ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික පෙරළියකට මුල පුරමින් ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වන බව වාර්තා වෙනවා.
ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් විසුරුවා හැර වෙනම රාජ්‍ය සමාගම් හයක් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති අතර එය රටේ විදුලිබල කර්මාන්තයේ ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය සනිටුහන් කරන්නකි.
ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගෙන තිබුණා.
ඒ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට මෙම සමාගම් 6 වෙත පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.
මෙම සමාගම් 6 අතුරින් සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමටද කටයුතු කර තිබෙනවා.
