ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කර ඇති පසුබිමක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගත් ඝාතන සැලසුම් කිහිපයක් පිළිබඳ නව වාර්තා පළවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, 2024 වසරේදී ඉරානය සම්බන්ධ බව කියන ඝාතන සැලසුම් දෙකක් අනාවරණය වී ඇති අතර, ඒවායේ අරමුණ ට්‍රම්ප්ව ඝාතනය කිරීම බවයි සඳහන් වන්නේ.
ඉරානයේ පළමු සැලසුම නම් කර ඇත්තේ Kill Team සැලසුම ලෙසයි. ඉරාන නියෝජිතයන් එක් පුද්ගලයෙකුට ට්‍රම්ප්ව ඝාතනය කිරීමට කණ්ඩායමක් (kill team) සකස් කරන ලෙස නියෝග කළ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැලසුමේදී, ඉරානය සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වූ වූ පකිස්තාන ජාතිකයෙකු වන Asif Raza Merchant පසුගිය සතියේ අමෙරිකානු අධිකරණයක් මඟින් වරදකරු කරනු ලැබු බවයි වාර්තා වන්නේ. 2020 දී ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානි ඝාතනය කළ ඇමරිකානු ප්‍රහාරයට පළිගැනීමේ සැලැස්මට මෙම සැලැස්ම සම්බන්ධ බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
අධිකරණය ඔහුව “කුලියට මිනීමැරුම” සහ “ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කිරීම” යන චෝදනා මත වරදකරු ලෙස තීන්දු කර ඇති අතර ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පවා ලැබිය හැකි බව සඳහන් වෙනවා.
ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ සම්බන්ධතා ඇති බව කියන Farhad Shakeri නමැති පුද්ගලයෙකුට ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා දින 7ක් ඇතුළත සැලසුමක් සකස් කරන ලෙසට නියෝග කරමින් ට්‍රම්ප් ඝාතනය කිරීමේ දෙවැනි සැලසුමක් ද ක්‍රියාත්මක වී ඇති බව මෙම නඩුවේ සාක්ෂි විභාගය අතරතුර හෙළිදරව් වී ඇති බවයි වාර්තා වන්නේ. The ‘7-Day’ Plot යනුවෙන් එය නම් කර තිබූ බව සඳහන්ය.
ඔහු එම කාර්යය සඳහා නිව්යෝර්ක්හි පුද්ගලයන් දෙදෙනෙකු බඳවා ගත් බවත්, ඔවුන්ගෙන් එක් අයෙකුට දැනට වසර 15ක සිරදඬුවමක් නියම කර ඇති බවත් වාර්තා වෙනවා.
අධිකරණ ලේඛනවලින් පෙනී යන්නේ Shakeri, IRGC නිලධාරියෙකුට “ට්‍රම්ප් ඝාතනය කිරීමට විශාල මුදලක් වැය වන” බව දැනුම් දුන් බවයි. “අපි දැනටමත් විශාල මුදලක් වියදම් කර තිබෙනවා. එබැවින් මුදල් ගැටලුවක් නොවේ” යැයි ඔහුට ප්‍රතිචාර ලැබී ඇති බව ද සඳහන්ය. මේ සඳහා Shakeri වෙත දැඩි කාල රාමුවක් ලබා දී ඇති බව ද නඩු විභාගය අතර අනාවරණය වී තිබෙනවා. 2024 මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා දින හතක් ඇතුළත සැලැස්මක් සකස් කරන ලෙස ඔහුට නියෝග කරන නු ලැබූ බව යි හෙළි වී ඇත්තේ.
මෙම ඝාතන සැලසුම් 2020දී ඇමරිකාව විසින් ඉරාන හමුදා නායකයෙකු වූ Qasem Soleimani ඝාතනය කිරීම සඳහා පළිගැනීමක් ලෙස සිදු කළ බවට විමර්ශකයන් සැක පළ කරනු ලබනවා.
කෙසේ වෙතත්, ඉරාන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
