ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට රැකවරණය ලබා දීමට සූදානම් බවත් ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ආරක්ෂිත බවත් එරට ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන ටෝනි බර්ක් ඉරිදා බ්‍රිස්බේන් නගරයට ගොස් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට කැමැත්ත පළ කළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
සඳුදා රාත්‍රියේ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් ඔවුන්ගේ ඉරාන ආරක්ෂක නිලධාරීන්ගෙන් වෙන්වී ගොස් ඇති අතර, ඔවුන්ව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය විසින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.
අමාත්‍ය බර්ක් මෙහිදී අනාවරණය කර ඇති ආකාරයට කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට මානුෂීය වීසා (humanitarian visas) ලබාදීමට ඔස්ට්‍රේලියාව මේ වන විට සූදානමින් සිටිනවා. එම වීසා කාලය වෙනස් විය හැකි නමුත් අවම වශයෙන් අවුරුදු 3ක් පමණ ආරක්ෂාව ලබාදෙනු ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.
“ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සාදරයෙන් ආරාධනා කරනවා. ඔවුන් මෙහි ආරක්ෂිතයි. මෙය තමන්ගේම නිවසක් වැනි ස්ථානයක් ලෙස හැඟේවි” යනුවෙන් බර්ක් අඟහරුවාදා උදෑසන මාධ්‍යවේදීන්ට පවසා තිබෙනවා.
මෙම කණ්ඩායම මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීමට පැමිණ තිබූ අතර ඔවුන් Gold Coast හි හෝටලයක දැඩි ආරක්ෂාව යටතේ නවාතැන්ගෙන සිටි බව සඳහන් වෙනවා.
කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දකුණු කොරියාවට එරෙහි තරඟයේදී ජාතික ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වන අතර, එය නිහඬ විරෝධයක් ලෙසයි හැඳින්වුණේ.
ඒ හේතුවෙන් ඉරානයට ආපසු ගියහොත් ඔවුන් දඬුවමට හෝ මරණ දණ්ඩනයට ලක් විය හැකි බවට බියක් පළ වෙමින් තිබුණා. මෙම ප්‍රශ්නයට වහාම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වූ අතර ඔහු ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ අලුයම දෙකට දුරකථන සංවාදයක් පැවැත්වූ බව වාර්තා වෙනවා.
එම සංවාදයේදී ට්‍රම්ප්, මෙම ඉරාන ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ තමන්ට ඇති කනස්සල්ල ප්‍රකාශ කර තිබූ අතර ඔස්ට්‍රේලියාව ඒ සඳහා මැදිහත්විය යුතු බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
