මාර්තු 9 වැනි දාට යෙදුණු ‘National Napping Day’ දිනයේදී එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හාස්‍යයට ලක් කරමින් සිදු කළ විවේචනයක් සමාජ මාධ්‍යවල උණුසුම් ප්‍රතිචාරවලට හේතු වුණා.
එය සැබවින්ම දේශපාලන උපහාසයක් වූ අතර ඔවුන් ට්‍රම්පව විහිළුවට ගෙන තිබුණේ ඩෙමොක්‍රටික් පක්ෂයේ නිල X ගිණුමේය.
ජනාධිපති ට්‍රම්ප් වැදගත් සමුළු හා රැස්වීම්වලදී නිදා සිටින අවස්ථාවල ඡායාරූප කිහිපයක් ඔවුන් ඊට එක් කර තිබුණා.’නින්දේ සිටින අණදෙණ නිලධාරියාට විශේෂ දිනයක්’ (Big day for the Commander-in-Sleep) යන කැප්ෂනය ද සමඟ එක් කළ එම ඡායාරූපවලින් පසු සමාජ මාධ්‍යවල මීම්ස් විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වී ඇති ආකරය දැක ගත හැකියි. 79 හැවිරිදි ජනාධිපතිවරයා “Commander-in-Sleep” ලෙස හැඳින්වූ එම පණිවිඩය ඉක්මනින් සමාජ මාධ්‍යවල පැතිර ගොස් දේශපාලනික විවාදයක් බවට ද පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඩිමොක්‍රටික් පක්ෂයට සමීප ගිණුම් කිහිපයක්ම මෙම විවේචනයට එක් වූ බවයි වාර්තා වුණේ. එහිදී, හිටපු උප ජනාධිපති කමලා හැරිස්ගේ සහායකයන් විසින් පවත්වාගෙන යන ගිණුමක් 2025 නොවැම්බර් මාසයේ ඕවල් කාර්යාලයේ පැවති ඖෂධ සමාගම් සමඟ ඇති ගිවිසුම් පිළිබඳ වැඩසටහනක් අතරතුර ට්‍රම්ප් නිදා සිටින ඡායාරූප කිහිපයක් බෙදා ගෙන තිබුණා.
ජනමාධ්‍ය ඉදිරියේ මෙන්ම විශේෂ සමුළු හා රැස්වීම් අතරතුර නිදා සිටින මෙම ඡායාරූප හා වීඩියෝ මේ වන විට ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී දේශපාලකයින්ට හා විචාරකයින්ට හොඳ අවියක් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රිපබ්ලිකන් නායකයන් එම විවේචන දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ට්‍රම්ප්ගේ හිතවත් දේශපාලනඥයින් ට්‍රම්ප් ඉතා උත්සාහයෙන් වැඩ කරන ජනාධිපතිවරයෙකු බවත් ඔහු තමන් දැක ඇති ඉතාමත් ක්‍රියාශීලී ජනාධිපතිවරයා යන මතය ගොඩනැගීමට උත්සහ කරමින් සිටින බව ද වාර්තාවල දැක්වෙනවා.
ට්‍රම්ප්ගේ නින්ද අඩුවීම නිසාම ඔහු වැඩි ශක්තියෙන් කටයුතු කරන බවත්, ඔහුගෙන් උදෑසන 7ටත් රාත්‍රී 2ටත් දුරකථන ඇමතුම් ලැබෙන බවත් ඔවුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම විවේචන පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ද ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ රැස්වීම්වලදී තමන් ඇස් වසා සිටින බව පෙනුනද තමන් සැබවින්ම නින්දට ගොස් නැති බවයි.
“සමහර වෙලාවට මම ඇස් වසා ගන්නවා. ඒක නිසා මම නිදාගත්තා කියලා කියනවා. නමුත් මම නිදාගත්තේ නැහැ. ඇත්තටම ඒක ටිකක් බෝරින් වූ එකක් නිසා ඇස් වසා ගත්තා” ට්‍රම්ප් විහිළුවෙන්ම එම විවේචනවලට ප්‍රතිචාර ලබා දී ඇති බවද සඳහන්ය.
