දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ උසස් තනතුරු 381ක් ශ්‍රී ලංකා පරිපාලන සේවය නිලධාරීන්ට පමණක් දැරිය හැකි බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා කොමිසම විසින් නිකුත් කර තිබූ පරිපාලන සේවා ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පරිපාලන සේවා ව්‍යවස්ථාව බල රහිත කිරීමට නියම කර තිබෙනවා.
ඒ අනුව රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ තනතුරු සඳහා නිලධාරින් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට උපදෙස් ලබා දුන් බව සඳහන්ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ රාජ්‍ය සේවා කොමිසම විසින් නිකුත් කර තිබූ පරිපාලන සේවා ව්‍යවස්ථාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවලට අයත් රාජ්‍ය නිලධාරීන් හය දෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත්කරමිනි.
මෙම මූලික අයිතිවාසිකම් පෙස්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබුණේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු එහි සාමාජිකයන් ලෙස නම් කරන ලද කණ්ඩායමකි.
රාජ සේවා කොමිසම 2013 දෙසැම්බර් 23 වැනිදා 1840/2 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ උසස් තනතුරු 381ක් ශ්‍රී ලංකා පරිපාලන සේවය නිලධාරීන්ට පමණක් පත්විය යුතු බවට නියම කරනු ලැබුවා.
පෙත්සම් විභාගයේදී පෙස්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පරිපාලන සේවා ව්‍යවස්ථාව මගින් රජයේ අනෙකුත් සේවකයන්ට විශාල අසාධාරණයක් වන බවට තර්ක කර තිබෙනවා.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පරිපාලන සේවා නිලධාරීන්ට පමණක් මෙම තනතුරු පිරිනැමීමෙන් වග උත්තරකාර රාජ්‍ය සේවා කොමිසම අනෙකුත් රාජ්‍ය සේවා පහත් තත්වයට සලකා ඇති බව පෙනීයන්නේ යැයි තීන්දුවේ සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව පරිපාලන සේවා ව්‍යවස්ථාව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කරනු ලැබුවා.
