ලිංගික ජාවාරම සඳහා දැරියන් බඳවා ගැනීමට මෝස්තර නිරූපන කර්මාන්තය යොදා ගත් ආකාරය හෙළි වේ..

ජෙෆ්රි එෆ්ස්ටීන් (Jeffrey Epstein) නමැති ප්‍රකට ලිංගික අපරාධකරු ලිංගික ජාවාරම් කටයුතු සඳහා මෝස්තර නිරූපන කර්මාන්තය සමඟ පැවති ඔහුගේ සම්බන්ධතා භාවිත කළ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබෙනවා.

මෝස්තර නිරූපන කර්මාන්තය සමඟ ඇති සම්බන්ධතා භාවිතා කරමින් ඔහු තරුණ කාන්තාවන් හා කුඩා වයස්කාරියන් පවා ඔහුගේ අපරාධ ජාලයට සම්බන්ධ කර ගත් බවයි අනාවරණය වී තිබෙන්නේ.

ඒ සඳහා ප්‍රංශ මොස්තර නිරූපණ නියෝජිතයෙකු වූ ජීන් ලුක් බෲනෙල් (Jean-Luc Brunel) සිය ආයතනයේ සහාය එෆ්ස්ටීන් වෙත ලබා දුන් බවට බ්‍රසීල කාන්තාවන් පිරිසක් බීබීසී පුවත් සේවය වෙත ද තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු ආරම්භ කළ MC2 Model Management නියෝජිත ආයතනයට එප්ස්ටීන් මුදල් ලබාදී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

බෲනෙල් පසුව සිරගෙදරදී සියදිවි නසාගත් අතර, ඔහුට එරෙහිව දූෂණය, ලිංගික අතවර සහ එෆ්ස්ටීන් වෙනුවෙන් දැරියන් සැපයීම පිළිබඳ බරපතල චෝදනා එල්ල වී තිබුණා. මෙම පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ දකුණු ඇමරිකානු රටවලින් තරුණියන් සොයාගෙන ඔවුන්ට අමෙරිකාවට යාම සඳහා වීසා බලපත්‍ර සකස් කර දීමට බෲනෙල් සතු මොස්තර නිරූපණ ආයතන සෘජුවම මැදිහත් වී ඇති බවයි.

වයස අවුරුදු 16දී මෙම ජාලයට හසුවීමට ගිය ග්ලවුසියා ෆෙකෙටේ (Gláucia Fekete) නම් බ්‍රසීල කාන්තාව පවසන්නේ, නිව්යෝර්ක් හි පැවැත්වෙන මොස්තර නිරූපණ තරඟයකට සහභාගී වන ලෙස පවසමින් බෲනෙල් තම මව පොළඹවා ගැනීමට උත්සාහ කළ බවයි.

එප්ස්ටයින් සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ තවත් කාන්තාවක් පවසා ඇත්තේ තමන් කිසිදිනක මොස්තර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියාවක් නොකළද, ඇයට අමෙරිකාවට පැමිණීම සඳහා බෲනෙල්ගේ ආයතනයක් හරහා වීසා නිකුත් කළ බවකි.

මෙම හෙළිදරව්වත් සමඟ එෆ්ස්ටීන් සහ බෲනෙල් එක්ව පවත්වාගෙන ගිය ජාත්‍යන්තර මිනිස් ජාවාරම් ජාලයේ භයානක තොරතුරු රැසක් ලෝකය හමුවේ යළිත් අනාවරණය වෙමින් පවතී.

එප්ස්ටීන් සමඟ සම්බන්ධ වූ තවත් ප්‍රසිද්ධ නාමයක් වන්නේ ව්‍යාපාරිකයෙකු වූ Les Wexner ය. ඔහු Victoria’s Secret සමාගමේ හිටපු ප්‍රධානියා වන අතර, දශක ගණනක් එප්ස්ටීන් ඔහුගේ මුල්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ බව වාර්තා වෙනවා.

මෙම සම්බන්ධතාවය හේතුවෙන් එප්ස්ටීන්ට ෆැෂන් ලෝකයේ ඉහළම පුද්ගලයින් සහ නිරූපිකාවන් සමඟ සම්බන්ධතා ඇතිකරගැනීමට හැකි වූ බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Latest News

error: Content is protected !!