ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රොහ්තාස් දිස්ත්‍රික්කයේ සිදු වූ විශේෂ සිදුවීමක් නිසා ඉන්දීය විභාග පද්ධතියේ නොසැලකිලිමත්භාවය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.
විභාග අපේක්ෂකයා රිටේෂ් කුමාර් නම් තරුණයෙකි. ඔහු රජයේ රැකියා බඳවා ගැනීමේ විභාගයකට නිකුත් කළ ප්‍රවේශ පත්‍රයේ (Admission Card) ඔහුගේ ඡායාරූපය වෙනුවට බල්ලෙකුගේ ඡායාරූපයක් මුද්‍රණය වී තිබීම හේතුවෙන් තරුණයා විශාල ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.
අදාළ බඳවා ගැනීමේ මණ්ඩලයට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කළද, ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.
රිටේෂ් 2022 වසරේදී රොහ්තාස් දිස්ත්‍රික්කයේ අධිකරණයක කම්කරු තනතුරක් සඳහා අයදුම් කර තිබුණා.
කෙසේ වෙතත්, වසර හතරකට ආසන්න ප්‍රමාදයකින් පසුව මාර්තු 15 දින පැවැත්වීමට නියමිත මූලික විභාගය සඳහා ඔහු ප්‍රවේශ පත්‍රය බාගත කරද්දී, එහි තම ඡායාරූපය වෙනුවට Golden Retriever වර්ගයේ බල්ලෙකුගේ ඡායාරූපයක් තිබෙන අයුරු දැක ඔහු පුදුමයට පත් වූ බවයි සඳහන් වන්නේ.
රිටේෂ් කුමාර් පවසන්නේ, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී තම නිවැරදි ඡායාරූපයම උඩුගත කළ බවත් එය සනාථ කිරීමට අයදුම්පත භාරගත් බව පෙන්වන රිසිට් පත්‍රයද තමා සතුව ඇති බවත්ය.
මෙම වරද හේතුවෙන් තමන් ප්‍රදේශයේ මිනිසුන් අතර විහිළුවට ලක්වීමට සිදුව ඇති බව ඔහු පවසා ඇත්තේ දැඩි කණස්සල්ලෙන් යුතුවය.
ඔහු මේ සම්බන්ධයෙන් බඳවා ගැනීමේ මණ්ඩලයට පැමිණිලි කිහිපයක්ද ඉදිරිපත් කර තිබුණත් විභාග දිනය ළඟාවෙමින් තිබියදීත් මෙතෙක් කිසිදු නිවැරදි කිරීමක් සිදු කර නොමැති බවද ඔහු පවසා තිබෙනවා.
