ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර සමඟ ආරම්භ වූ යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, එය ලෝක තෙල් වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා.
මේ අතර කලාපීය ආරක්ෂාව තවදුරටත් අස්ථාවර වුවහොත් බැරලයක් ඩොලර් 200 දක්වා තෙල් මිල ඉහළ යා හැකි බව ඉරානය පවසා ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන හමුදා ප්‍රකාශකයෙකු වූ Ebrahim Zolfaqari පවසා ඇත්තේ “කලාපයේ ආරක්ෂාව ඔබ අස්ථාවර කළා. ඒ නිසා තෙල් මිල බැරලයක් ඩොලර් 200 දක්වා ඉහළ යාමට ලෝකය සූදානම් විය යුතුයි” යනුවෙනි.
එමෙන්ම ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන බැංකු සහ ආර්ථික මධ්‍යස්ථාන “නීත්‍යානුකූල ඉලක්ක” බවට පත් විය හැකි බවට ද ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
යුද්ධය ආරම්භ වී අද වන විට සති දෙකක් ගත වී ඇති අතර ගල්ෆ් මුහුදේ වෙළඳ නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල වීම අඛණ්ඩව සිදු වෙමින් පවතී.
බදාදා දිනයේ (11) ගල්ෆ් මුහුදේ වෙළඳ නෞකා තුනක් ප්‍රහාරයට ලක් වූ බවයි වාර්තා වුණේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව පවසන්නේ, තමන්ගේ නියෝග නොතකා ගමන් කළ නෞකා වෙත පහර දුන් බවයි.
එහිදී තායි ධජය යටතේ ගමන් කළ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමෙන් නාවිකයන් කිහිප දෙනෙකු අතුරුදහන් වූ බවද වාර්තා වී තිබෙනවා. තවත් ජපාන සහ මාර්ෂල් දූපත් ධජය යටතේ ගමන් කළ නෞකා දෙකකටද හානි සිදු වුණා.
මේ අනුව ලෝක තෙල් සැපයුමේ 20%ක් පමණ ගමන් ගන්නා හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය පවසන්නේ හෝමූස් තම පාලනය යටතේ පවතින බවයි. ඒ අතර, එහි මුහුදු මාර්ගය තුළ පුපුරන යුද උපකරණ (mines) කිහිපයක් තබා ඇති බවට ද වාර්තා පළ වෙනවා.
