සෙනගල් රාජ්‍යය සමලිංගික ක්‍රියා සඳහා දඬුවම් දෙගුණ කරයි

සෙනගල් රාජ්‍යයේ නියෝජිත මන්ත්‍රීවරුන් නව නීති කෙටුම්පතක් අනුමත කරමින් සමලිංගික ලිංගික ක්‍රියා සඳහා තිබූ උපරිම සිරදඬුවම දෙගුණ කිරීමට තීරණය කර ඇතැ‍යි වාර්තා වෙනවා.

මෙම නීතියට මන්ත්‍රීවරුන් 135 දෙනෙකු සහය පළ කර ඇති අතර විරුද්ධව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කර නොමැති බවයි සඳහන් වන්නේ.

මෙය 2024දී බලයට පත් වූ රජය විසින් ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දුවක් වන අතර එය ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දී ඇත්තේ ජනාධිපති බසිරු ඩියොමායේ පායේ සහ අගමැති උස්මාන් සොන්කෝය.

සෙනෙගල් දණ්ඩ නීති සංග්‍රහයේ 1966දී සංශෝධනය කළ “ස්වභාවධර්මයට විරුද්ධ ක්‍රියා” (acts against nature) යන වගන්තිය යටතේ පෙර සිටම සමලිංගික ක්‍රියා අවුරුදු 5 දක්වා සිරදඬුවම් සහ CFA ෆ්‍රෑන්ක් මිලියන 1.5 දක්වා දඩයක් දක්වා දඬුවම් ලැබිය හැකි වරදකි.

නව නීතිය අනුව, සිරදඬුවම අවුරුදු 10 දක්වා වැඩි කර තිබෙනවා. දඩය CFA ෆ්‍රෑන්ක් මිලියන 10ක් (ඩොලර් 17,700කට අධික) දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව නීති අනුව විනිසුරුවරයෙකුට අත්හිටවූ දඬුවම් ලබා දීමට හෝ අවම සිරදඬුවම අඩු කිරීමට ද අවසර හිමි නොවන බව ද වාර්තා වෙනවා.

මෙම නීතිය මඟින් සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය, සත්වයින් සමඟ ලිංගිකත්වය හා මෘත ශරීර සමඟ ලිංගිකත්වය වැනි ක්‍රියා ස්වභාව ධර්මයට විරුද්ධ ක්‍රියා ලෙසයි නිර්වචනය කර තිබෙන්නේ. එවැනි ක්‍රියා ප්‍රවර්ධනය කිරීම හෝ මුදල් ලබා දීම ද අපරාධයක් ලෙස අර්ථ නිරූපනය කර තිබෙනවා.

නීතිය අනුමත කිරීමට පෙර සති කිහිපයක් පුරා Dakar නගරයේ “සමලිංගිකත්වය එපා” යන සටන්පාඨ සමඟ විරෝධතා පැවැත්වුණු බව ද වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!