සලේගේ ඇඟ උඩින් දුවන මීයන් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවේ සිටියදී හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේට අයහපත් ලෙස සළකන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ කළ ප්‍රකාශ රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමා දන්නා පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සලේට පුවත්පත් එලා නිදා ගැනීමට බල කර ඇති අතර ඔහුගේ ඇඟ උඩින් පවා මීයන් දුවන බව වාර්තා වී ඇති බවයි.

ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටියදී පැවති දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් නිසා ඔහුට දැඩි අපහසුතාවක් ඇති වී ඇති බවත් මී උණ වැළඳීමේ අවදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පවසා තිබෙනවා.

කෙසේවෙතත්, බොහෝ සැකකරුවන් මීට පෙර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වැනි මහලට ගෙන ගොස් ඇති බවත්, එවැනි තත්ත්වයන් පිළිබඳ කිසිවෙකු පැමිණිලි කර නොමැති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

එවැනි චෝදනා ඉදිරිපත් කර ඇත්නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය නම් පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ඔහු පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!