ඉරානයේ ලේ හෙල්ලූ පළිය ගන්නවා.. නව උත්තරීතර නායක මොජ්ටබාගේ පළමු ප්‍රකාශය නිකුත් වේ

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු එරට නව උත්තරීතර නායකයා ලෙස තේරී පත්වු මොජ්ටබා කමේනි පළමුවරට මහජනතාව අමතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පළමු ප්‍රකාශය සිදු කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ යුද්ධය අවසන් වනතෙක් සටන නවතා නොදමන බවයි.

අමෙරිකාව හා ඊශ්‍රායලයට එරෙහිව දිගුකාලීන පළිගැනීමක් සිදු කරන බවට ඔහු සපථ කර තිබෙනවා.

එමඟින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම යුද්ධය අතරතුර තම පියා වූ හිටපු උත්තරීතර නායකයා අලි කමේනි ඇතුළු සිය පවුලේ සමීප සාමාජිකයන් මියයාම කිසිසේත් අමතක නොකරන බවයි.

ඉරානයට එරෙහිව ප්‍රහාර නතර නොකළහොත් ඇමරිකා හමුදා කඳවුරු සහ වෙනත් ප්‍රදේශවල ඉලක්කවලට ප්‍රහාර ව්‍යාප්ත කරන බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ඔහු සිය ප්‍රකාශයෙන් මේ වන විට මුළු ලෝකයටම බලපාන අර්බුදයකට හේතු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ද අවධාරණය කරනු ලැබුවා.

ඔහු පැවසුවේ ලෝකයේ වැදගත්ම තෙල් ගමනාගමන මාර්ගයක් වන හෝමූස් වසා තබමින් ඉරානය එල්ල කරනු ලබන පීඩනය තවදුරටත් වැඩි කරන බවයි.

මෙය ලෝක තෙල් සැපයුමට මේ වන විට දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඉරානය සිය යුද මෙහෙයුම්වල ප්‍රධානම උපායමාර්ගයක් බවට පත් කරගෙන තිබෙන්නකි.

පණිවිඩය මොජ්ටබා විසින් පෞද්ගලිකව ලබා නොදුන් අතර ඒ වෙනුවට, කමේනිගේ නිශ්චල ඡායාරූපයක් තිරය මත ප්‍රදර්ශනය කරන අතරතුර, රාජ්‍ය රූපවාහිනී නිවේදකයෙකු විසින් එය ශබ්ද නඟා කියවනු ලැබුවා.

Latest News

error: Content is protected !!