රුසියාවට විශාල ලාභයක් නැහැ.
මැදපෙරදිග තෙල් සැපයුමේ ප්‍රධාන මාර්ගයක් ලෙස සැලකෙන හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ඇති අර්බුදය හේතුවෙන් ලෝක තෙල් සැපයුම දැඩි ලෙස බාධා වී ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (13) රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ලෝකයේ රටවලට තාවකාලික අවසරයක් ලබා දී තිබෙනවා.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් X හි පළ කළ ප්‍රකාශයකට අනුව මෙම පියවර ලෝක බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම හා ඉන්ධන මිල පාලනය කිරීම සඳහා බවයි සඳහන් වන්නේ.
ඔහු පවසා ඇත්තේ දැනට මුහුදේ අතරමංව ඇති රුසියානු තෙල් තොග රටවලට මිලදී ගැනීමට තාවකාලික අවසරයක් ලබා දී ඇති බවයි.
එය කෙටි කාලීන සහ සීමිත පියවරක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා. එමඟින් රුසියානු රජයට විශාල ආර්ථික ලාභයක් නොලැබෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය පවසන ආකාරයට අනුව, වර්තමානයේ ලෝක තෙල් වෙළඳපොළ මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාවටයි.
ඉරානය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ සිට විවෘත මහසමුදුරට යන එකම ප්‍රධාන මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන්, දිනකට ගමන් කරන මිලියන ගණනක් බැරල් තෙල් ප්‍රවාහයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
