ගෝලීය අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමට ලංකාවටත් සිදු වෙයිද?

ඇමරිකාව ඊශ්‍රායලය හා ඉරානය අතර යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි තෙල් අර්බුදයට සූදානමක් ලෙස රටවල් ගණනාවක් නිවසේ සිට වැඩ කිරීම, කාර්යාල දින 4කට සීමා කිරීම වැනි සීමාවන් වෙත එළැඹී තිබෙනවා.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ආර්ථිකයේ කොටසක් වැසීමෙන් හෝ සීමා කිරීම්වලින් මෙම අර්බුදය විසඳා ගැනීම තම රජයේ උපාය මාර්ගය නොවන බවයි.

මේ අතර වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ද මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් නිවසේ සිට වැඩ කිරීම දැනට අවශ්‍ය නොවන බව පවසා තිබෙනවා.

රජය සිදුවෙමින් පවතින වෙනස්කම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, තත්ත්වය නරක අතට හැරේ නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන හඳුන්වා දීම ගැන සළකා බලන බවත් අමාත්‍යවරයා ඊයේ(12) සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුම ගෝලීය සැපයුම් දාමයන්ට බාධා කර ඇති බවත්, නැව්ගත කිරීමේ පිරිවැය වැඩි කර ඇති බවත් අන්තර්ජාතික වෙළඳපොළවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවත් සමරසිංහ මෙහිදී සඳහන් කර තිබෙනවා.

ගෝලීය තෙල් සහ ගෑස් මිල ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළ අතර, ඉන්ධන මිල දැනටමත් දේශීයව සංශෝධනය කර ඇති නමුත්, ඉහළ පිරිවැයකින් නව නැව්ගත කිරීම් පැමිණෙන විට අප්‍රේල් මාසය වන විට තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ඇතැම් පෞද්ගලික ගෑස් සැපයුම්කරුවන් මිල වැඩි කිරීමට උත්සාහ කර ඇති නමුත් රජය තත්ත්වය නිරීක්ෂණය කරමින් මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු පවසන්නේ.

සමරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ භීතියට පත්වීමෙන් වැළකී සම්පත් වගකීමෙන් යුතුව භාවිත කරන ලෙසයි.

Latest News

error: Content is protected !!