රජයට දුන් කාලය ඉවරයි.. මෙදා අවුරුද්ද සර්ව ජන බලයේ නැකැත් සීට්ටුවෙන් සමරමු

චිරාත් කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික ජනතාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සිදු කරනු ලැබුවේ රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නැකැත් සීට්ටුවකට අනුවයි.

එහෙත් මෙවර මේ දක්වා එය රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැති හෙයින් සර්ව ජනබලවේගය එය සකස් කර දීමට කටයුතු කර තිබෙනවා.

එම නැකැත් සීට්ටුව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එම ධූරයෙන් ඉවත් වී යෑමට අවශ්‍ය නැකතද තමා ලබාදීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ, විපක්ෂය නියෝජනය කරන පක්ෂ ගණනාවක නියෝජිතයන් පිරිසක් සමඟ සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීය.

රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට රජය කඩිනම් පියවර නොගන්නේනම් සිය පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන බව සර්වජන බලය විසින් ප්‍රකාශ කළේ පසුගිය 12 වැනිදාය.

ඒ අනුව, අද වනවිට සර්වජන බලය රජයට ලබාදුන් කාලය ඉක්මවා ගොස් ඇති අතර පොරොන්දු වු පරිදි සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කරන ලෙස ඔවුන් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් ඉල්ලා ඇති බවයි එහිදී සඳහන් කරනු ලැබුවේ.

මේ අතර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයට අනුව ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු අද සුනේත්‍රා මහා දේවි පිරිවෙනට පැමිණ සාකච්ඡා කර සියලුදෙනාට එකඟ විය හැකි නැකත් සීට්ටුවක් සකස් කිරීමට පියවර ගැනුණා.

ඒ අනුව සියලුදෙනාගේ එකඟතාවෙන් පසු එය ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර සංස්කෘතික දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත් කර නොමැති බවද සඳහන් වෙනවා.

මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවත්, රාජ්‍ය නැකත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් ද ඉකුත් අඟහරුවාදා (10) රජයට සිය අප්‍රසාදය පළ කර තිබුණා.

ඒ අතර ජ්‍යෝතිර්වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද බුද්ධශාසන අමාත්‍යාංශයට ගොස් රාජ්‍ය නැකැත් කමිටුව වහා සක්‍රීය කරන ලෙස ඉල්ලා තිබුණා.

සර්වජන බලයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදීමට කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි.

Latest News

error: Content is protected !!