අමෙරිකාව ගල්ෆ් කලාපයට අමතර හමුදා බල ඇණි යැවීමට තීරණය කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම මෙහෙයුම සඳහා Amphibious Ready Group (ARG) ලෙස හැඳින්වෙන මුහුදෙන් ගොඩබැස්සවිය හැකි නාවික හමුදා කණ්ඩායමක් යොදවීමට සැලසුම් කර ඇති අතර, එයට නෞකා 3ක්, 2000-5000ත් අතර හමුදා බල ඇණියක් ඇතුළත් විය හැකි බව සඳහන් වෙනවා.
මෙම බලකායට නායකත්වය දෙනු ඇතැයි කියන්නේ USS Tripoli (LHA‑7) නමැති ඇමරිකානු නාවික හමුදාවේ Amphibious ප්‍රහාරක නෞකාවයි. එය මුහුදෙන් සහ ගොඩබිමෙන් යන දෙකෙන්ම පහර දිය හැකි විශාල නෞකාවකි. එය මේ වනවිට ඉරානය අසල මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විශාල ඇමරිකානු නාවික බලකායට එක්වීමට නියමිතය.
ARG කණ්ඩායමට සාමාන්‍යයෙන් හමුදා ගොඩබැස්වීමට හැකි නෞකාවලට අමතරව විශාල සංඛ්‍යාවක හෙලිකොප්ටර් සහ සටන් මෙහෙයුම් සඳහා අවශ්‍ය වෙනත් නාවික යානාද ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම නව හමුදා යෙදවීම් මඟින් පෙනී යන්නේ පෙන්ටගනය විසින් යුද්ධයේදී භාවිත කළ හැකි විකල්ප උපාය මාර්ග වෙත ද මේ වන විට ප්‍රවිශ්ඨ වී ඇති බවයි.
යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට ආරක්ෂාව සැලසීම මෙම නෞකා යෙදවීමේ එක් අරමුණක් විය හැකි බවයි. එමෙන්ම ඉරානයේ තෙල් කේන්ද්‍රස්ථානය වන ඛාර්ග් දූපත ද මෙහි ඉලක්කයක් විය හැකිය.
ඒ අනුව ඛාර්ග් දූපත වෙත අමෙරිකානු හමුදා ගොඩ බැස්සවීමක් සිදුවීමට ඉඩ ඇති බවට ද අනාවැකි පළ වෙමින් පවතී.
