රජය නැකැත් සීට්ටුව දෙනවා…. ඇමති නලින්ද සහතික වෙයි

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා නියම කරනු ලබන නැකත් වේලාවන් අවසන් කිරීම සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ, ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ගේ උපදෙස් මත නැකත් වේලාවන් නිකුත් කිරීමට රජය පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස සහතික වී තිබෙනවා.

මහනුවර මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවයි.

රාජ්‍ය නැකැත් කමිටුව විසිරුවා හැරීම හා මේ දක්වා එය නැවත පත් කර නොතිබීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය සමයේදී කමිටුව විසුරුවා හැර ඇති බවත් කමිටුව නැවත පත් කළ යුතුද යන්න පිළිබඳව අමාත්‍යාංශය නිවැරදි තීරණයක් ගන්නා බවත්ය.

කමිටුව නොමැති වුවද, අමාත්‍යාංශයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් විසින් නැකත් වේලාවන් සකස් කිරීම සිරිතක් වී ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.. “අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අමාත්‍යාංශයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ට නැකැත් සීට්ටුව සකස් කළ හැකියි” ඔහු පවසා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන වාර්ෂික රාජ්‍ය හිසතෙල් ගෑමේ උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාලයේ දී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා දනුම් දුන්නා.

විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (16) දින නව අවුරුදු නැකැත් සකස් කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සංස්කෘතික දෙපාර්තමේන්තුව ද මේ වන විට දැනුම් දී තිබෙනවා.

Latest News

error: Content is protected !!