හෝමූස් ඇරලා දෙන්නම්.. ඉරානයෙන් අමෙරිකාවේ හුස්ම හිරකරන කොන්දේසියක්

ගල්ෆ් කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර කර තිබෙන හෝමූස් සමුද්‍ර සන්ධියට සීමිත ප්‍රවේශයක් ලබා දීම සඳහා ඉරානය නව කොන්දේසිය්ක් ඉදිරිපත් කර ඇතැයි CNN පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඉරානය මෙම කොන්දේසිය නම් කර ඇත්තේ (yuan-for-passage) එනම් “යුවාන් සඳහා ප්‍රවේශය” යනුවෙනි.

උපාය මාර්ගික මුහුදු මාර්ගය හරහා සීමිත නැව් ගමනාගමනයකට ඉඩ සැලසීමට නම් අදාළ තෙල් මිලදී ගැනීම් අමෙරිකානු ඩොලරයෙන් නොව චීන යුවාන්වලින් ගෙවිය යුතුය යන්න මෙම කොන්දේසිය වෙනවා. දැනට ලෝකයේ බොහෝ තෙල් ගණුදෙනු සඳහා භාවිත කරනු ලබන සාමාන්‍ය මුදල් ඒකකය වන්නේ අමෙරිකානු ඩොලරයයි. එහෙත් චීනය වසර ගණනාවක් තිස්සේ චීන යුවාන් මුදල් ඒකකය ඒ සඳහා ආදේශ කිරීමට අපේක්ෂාවෙ කටයුතු කරනු ලබනවා.

මේ අනුව ඉරානයේ නව කොන්දේසිය ගෝලීය “පෙට්‍රෝඩොලර්” (petrodollar) ආධිපත්‍යය දුර්වල කිරීමට සහ මෑතකාලීන රාජ්‍ය තාන්ත්‍රික සහ මානුෂීය සහයෝගය වෙනුවෙන් චීනයට ප්‍රතිලාභ ලබා දීමට ගත් උපායමාර්ගික උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

ආසියානු රටවල් හා වොෂින්ටනය අතර යම් විරසකයක් ඇති කිරීමත් මෙම උපාය මාර්ගයේ එක් අරමුණක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් පරිපාලනය මෙම යෝජනාව “ආර්ථික කප්පම් ගැනීමක්” ලෙස හඳුන්වා ඇති බවද වාර්තා වෙනවා. කුමන මුදල් ඒකකයක් භාවිතා කළද ඇමරිකානු නාවික හමුදාව කලාපය තුළ සිය දැඩි පාලනය දිගටම පවත්වාගෙන යන බව අද අමෙරිකාව අවධාරය කර ඇති බවයි වාර්තා වන්නේ.

චීනය මෙතෙක් මෙම කොන්දේසි නිල වශයෙන් පිළිගෙන නැහැ.

විශ්ලේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට නව මුදල් යුද්ධයකට (currency war) මුලපිරීමක් වනු ඇති බවයි.

Latest News

error: Content is protected !!