රිස්ක් එක ඇඟට නොගත් ආණ්ඩුවේ සැහැල්ලුව..

තායිලන්තය, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් ඉදිරියේදී මුහුණ දීමට නියමිත තෙල් අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් වුණේ සතියකට පෙර සිටයි.

පාසල් වසා දැමීම, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඔන්ලයින් කිරීම, Work From Home, ඉන්ධන සීමා කිරීම් ඇතුළු සීමා කිරීම් පනවමින් ඔවුන් වර්තමානයේ මතුවී ඇති තත්ත්වයට එම මොහොතේම අවශ්‍ය තීරණ ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණා.

එහෙත් සකල දෙයින් පිරි සිරි ලංකාව හැසිරුණේ අර්බුදයක් පෙනෙන තෙක් මානයක නොමැති ආකාරයෙනි.

අර්බුදයට කල් තියා විසඳුමක් සොයනු වෙනුවට රජය කළේ සිය රටේ වැසියන්ට තෙල් ඕනෑවටත් වඩා තිබෙන බව පවසමින් පොර ටෝක් දීමයි.

ලොව සුපිරිම බලවතුන් පවා මේවන විට සිටින්නේ පිළිසරණක් නොමැතිවය.

ඉන්දියාව ඉතිහාසයේ දැවැන්තම ගෑස් අර්බුදයට මුහුණ දි සිටී. මේ වෙලාවේ එකිනෙකාට උදව් කර ගැනීම රටවල්වලට අමාරුය.

සියල්ලන් ලෝක අමාරුවක දැමූ ට්‍රම්ප් පවා මිතුරු රටවලට යුද නැව් එවන්නැයි ආයාචනා කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ අද සිට තෙල් ටික QR ක්‍රමයටයි. මාස එකහමාරකට සෑහෙන්න තෙල් තිබෙනවා කිව්ව රටේ එකපාර QR කෝඩ් එක සක්‍රීය වීම නිසා මිනිසුන් අන්දුන් කුන්දුන් වී ගොසිනි.

මීට දින කිහිපයකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා, බලශක්ති අමාත්‍යවරයා පුන පුනා කිව්වෙ ලෝකෙ කුමන රටට තෙල් නැතිවුනත් අපට තිබෙනවා කියාය. ඇමතිවරු උත්තර දුන්නේ හරිම සැහැල්ලුවකිනි. ඉදිරි සති දෙකේ අවදානම දණහිසින් උඩට නොගත් බව ඔවුන් උත්තරදුන් විලාශය තුළම පෙනුණ දෙයයි.

එක්‍තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් තෙල් නිධි ගාණක්ම අප සතුව තිබෙනා බවත් හැකි ඉක්මණින් කැණීම් කටයුතු කරනා බවත් ප්‍රකාශ කළ බවද වාර්තා වුණා.

ජනාධිපතිවරයා පවා කිව්වෙ මං ගැන විශ්වාසය තියාගන්න කියාය.

නියමිත තෙල් ප්‍රමාණය සතියකට තබා දින දෙක තුනකට ප්‍රමාණවත් නැත. දුර ගමන් සේවා කාර්යාලවලට පැමිණීම්, පාසල් ගමනාගමනය, අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය මුළුමනින්ම ඇණ හිටීමේ ඉඩකඩක් පවතී.

ලෝක බල අරගලය කණපිටට පෙරළෙමින් පවතින වෙලාවක ආණ්ඩුවේ සැහැල්ලුව තේරූම් ගත නොහැකිය.

එම සැහැල්ලුව රට නැවත තල්ලු කරමින් සිටින්නේ අවිනිශ්චිතතාවයේ දිශාවටයි. හෙට අනිද්දාට වැඩට යන එක කෙසේ වෙතත් කෑම, බීම, ගෑස්,විදුලියට ද QR එකක් දුන්නොත් පුදුම වීමට නොහැකිය.

ගෝලීය බල පෙරලිය අමතකම කර ගෝඨා ගෙදර ගිය ආකාරයවත් මතක් කරගත්තොත් සැහැල්ලුවෙන් මදකට මිදිය හැකි වනු ඇත.

Latest News

error: Content is protected !!