මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්වය හේතුවෙන් මතු වී ඇති තත්ත්වය තුළ අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සිදු කෙරුණු මෙම සාකච්ඡාවේදී නිවසේ සිට වැඩ කිරීමේ (Work From Home) පියවර යාමේ හැකියාව පිළිබඳ සලකා බලන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙනය යාම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම කෘෂි කර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.
අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
මතු වී ඇති මෙම තත්වය පූර්ව උපකල්පන ඉදිරිපත් කළ හැකි තත්වයක් නොවන බවත්, මතුවන නව තත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යමින් රටක් ලෙස මේ අභියෝගයට සාමුහිකව මුහුණ දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
