ඇමරිකාව ඉරානය සමඟ ඇතිවූ නව යුද්ධය අතරතුර, එරට විදේශ කටයුතු ලේකම් මාර්කෝ (Marco Rubio)ගේ දේශපාලන ප්‍රතිරූපය වැඩිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
1970 දී එඩ්වින් ස්ටාර් (Edwin Starr) විසින් ගායනා කළ ප්‍රසිද්ධ “War” නම් යුද විරෝධතා ගීතයේ “War… what is it good for? Absolutely nothing” යන ගීත ඛණ්ඩය මතක් කරමින් විශ්ලේෂකයින් සඳහන් කරන්නේ, යුද්ධය සාමාන්‍යයෙන් විනාශය හා වියදම් පමණක් ගෙන එන බවයි. එහෙත් මෙම නව ගැටුම මාර්කෝ රුබියෝ සඳහා දේශපාලන වශයෙන් ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනඟා දීමට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද ඔහු ඇමරිකා ඉතිහාසයේ හොඳම විදේශ කටයුතු ලේකම්වරයා ලෙස ඉතිහාසයට යනු ඇතැයි වරක් පවසා තිබුණා.
යුද්ධයත් සමඟ අමෙරිකානු රජය විසින් පවත්වනු ලබන මාධ්‍ය හමුවලට සහ රාජ්‍යතාන්ත්‍රික සංචාරවලට මාර්කෝ රුබියෝ නිරන්තරයෙන් ඉදිරිපත් වීම හේතුවෙන් ඔහුගේ නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳ අවස්ථාවක් වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාධ්‍යවේදීන් සමඟ වාදවෙමින් “අපි සතුරා බිඳ දමනවා” යනුවෙන් දැඩි ප්‍රකාශ කරන අතර රුබියෝ මාධ්‍යවේදීන් හමුවේ පවා ඉතා සැහැල්ලු බවක් පෙන්නුම් කරමින් සිටීම ජන ප්‍රසාදයට හේතු වී ඇතැයි සඳහන්ය.
මේ අතර, 2028 ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළ රිපබ්ලිකන් පක්ෂයේ අනාගත අපේක්ෂකයන් අතර ජේ.ඩී වැන්ස් (J. D. Vance) තවමත් ඉදිරියෙන් සිටින බව සඳහන් වෙනවා. එහෙත් රුබියෝගේ නව ජනප්‍රියත්වය හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුව රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වය කවුද ලබා ගන්නේද යන විවාදය තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.
රුබියෝ හා වැන්ස් යන දෙදෙනාම පසු ගිය කාලයේ ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළ අය වීමද විශේෂත්වයකි.
