මැද පෙරදිග අර්බුදය හමුවේ රජය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් සීමා කිරීම බරපතල ගැටලු රාශියක් පැන නැඟීම කෙරෙහි බලපානු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.
එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අනතුරු අඟවා ඇත්තේ පෙර සූදානමක් හෝ පෙර සැලැස්මක් නොමැතිව ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල ලෙස බිඳ වැටීමට ඉඩකඩ පවතින බවයි.
සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාමේ දී වෛද්‍යවරුන්ගේ පටන් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැදගත් බවත් සෞඛ්‍ය සේවාව අඛණ්ව මෙන්ම ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාමත් ඉතාමත් වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත් රජයේ වගකිව යුතු පාර්ශව එම වැදගත්කම නොසලකා හැර ඇති බවත් විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට රටේ මහ ජනතාව පිළිබඳ අබමර් රේණුවක කැක්කුමක් නොමැති බව මෙම තීන්දු තීරණ ගෙන ඇති ආකාරයෙන් පැහැදිලිවන බවයි ඔහු පවසන්නේ.
වෛද්‍යවරුන් පමණක් නොව සියලුම කාර්ය මණ්ඩලවල ප්‍රවාහන පහසුකම් තහවුරු කිරීමට රජය මැදිහත් විය යුතු බවත් එසේ නොවුණහොත් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන්නේ අසරණ රෝගීන්ට බව ද ඔහු සඳහන් කර තිබෙනවා. එමෙන්ම වෛද්‍ය කොළඹගේ මහතා අවධාරණය කරනු ලැඹුවේ එය සංවේදී අමාත්‍යවරුන් හා සංවේදී ජනාධිපතිරුන් තේරුම් ගත යුතු කරුණු වන බවයි.
මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැල්ලන්නට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට නොහැකිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට වෛද්‍ය ප්‍රසන්න කොළඹඟේ පිළිතුරු ලබා දී තිබුණේ මෙසේය.
“ජනතාවට සේවය කරන කොට සමහර කාරණාවලදී පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන්, පොදු ප්‍රවාහනය ඒ මට්ටමේ තියෙනවා නම්. හැබැයි පොදු ප්‍රවාහනය අඩාල වුණාම යම් ශල්‍යකර්මයක් අඩාල වෙනව නම් ඒ නිසා යම් ජීවිත අවදානමක් ගන්න වෙන්න නම් ජනතාව කොයි වෙලාවකත් මැසිවිලි නගන්න එපා. එහි අතුරු ප්‍රතිඵල සම්බන්ධයෙන් අපට වගකියන්න බැහැ. අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් රටවලත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනම ප්‍රවාහන ක්‍රම ලබාදීල තියෙන්නේ ඒ නිසා. ඔබ දන්නවා එම්බියුලන්ස් එකක වුණත් ලයිට් එකක් දාල විශේෂයක් ලබා දීලා තියෙන්නේ වෙනම ගමන් මාර්ගයක් ලබා දීලා තියෙන්නේ ඒක අත්‍යාවශ්‍ය කාරණාවක් නිසා. එමිබියුලන්ස් එකේ රෝගියා ගෙනාවට වැඩක් නෑ වෛද්‍යවරයා රෝහලේ නැත්නම්. අනෙක් සේවාවන් වගේ නෙවෙයි අපි පැය 24ම ඔවුන්ට ප්‍රතිකාර කරන්න ඕන. ඔවුන්ව රැකබලා ගන්න ඕන. ඕනම වෛද්‍යවරයෙක් හදිසියේ කොළඹට ගෙන්වා ගැනීමේ පහසුකම අපට තියෙන්න ඕන. ඒක හරියට කරගන්න බැරිවුණොත් ඊට පස්සේ ඇතිවන තත්ත්වයට වගකියන්න ඕන කවුද කියන එක ඔබටත් මටත් තේරෙනවා.”
