ගෝලීය බලශක්‍ති අර්බුදය හමුවේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් රජයට යොමු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.
ඒ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා බොරතෙල්, ඉන්ධන හා ගෑස් ආනයනයේදී ඇතිවිය හැකි අවදානම ගැන රජය අවදානම් තක්සේරුවක් ඉදිරිපත් කර ඇත් ද කියා දැනගැනීමට අවශ්‍ය බවත් මීට පෙර පාර්ලිමේන්තු දිනක හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇතිවන අන්තරාදායක තත්ත්වය ගැන විමසන විට රජය කියුවේ අප රටට බලපෑමක් නොමැති බව යැයි ඔහු සඳහන් කරනු ලැබුවා.
එහෙත් මේ වන විට පිරිපහදු තෙල් බොරතෙල් ගෑස් ආදිය මෙන්ම පොහොර රසායන ද්‍රව්‍ය ආදී අපනයන භාන්ඩ රැසකට අවදානමක් ඇති බව විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කරනු ලැබුවා.
තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කරමින් ඔහු සඳහන් කළේ තෙල් මත ඇති වැට් බදු ආදී බදු ඉවත් කර කියූ ආකාරයට වරායේ ගොඩබාන මිලට මේ අවස්ථාවේ තෙල් දිය යුතු බවයි.
වර්තමානයේ රටේ පවතින තෙල් සංචිත ප්‍රමාණයත් එය කොපමණ දිනකට ප්‍රමාණවත්ද කියා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා මාස දෙකකට ආසන්න ප්‍රමාණයකට තෙල් ඇති බව පවසා දින 7කට පසු තෙල් මිල වැඩි කළ බවත් අප රටේ මේ වන විට ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් ඔහු පැවසුවා.
එමෙන්ම ඔහු කියා සිටියේ ගෝලීය තෙල් සැපයුමට බාධා වීමෙන් හෝ මිල ගණන් ඉහළ යන අවස්ථාවේ මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට බලශක්ති අමාත්‍යාංශයේ ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙසයි.
මැදපෙරදිග කලාපය ආශ්‍රිත ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගයට බලපෑම් සිදුවීම නිසා මෙරට ඉන්ධන සැපයුමට වන බලපෑම නිසා විකල්ප බලශක්තිය ප්‍රභව යොදා ගැනිමට රජය තීරණය කර ඇත්නම් එම තක්සේරු ඉදිරිපත් කරන ලෙසත් ඉරානයේ තෙල් පිරිපහදුවලට ප්‍රහාරයක් එල්ල වුවහොත් මහා ඛේදවාචකයක් නිර්මාණය වන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අප රටට වන බලපෑම සම්බන්ධයෙන් රජය තක්සේරුවක් හෝ අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
එමෙබන්ම QR කේතයේ ගැටලු රැසක් පවතින බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
තවද සමහර වෘත්තීන්ට වෙන් කර ඇති තෙල් කෝටාව ප්‍රමාණවත් නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඇමෙරිකාව රුසියාවට තෙල් සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක දින 30කට නතර කිරීම නිසා රුසියාවෙන් අප රටට බොරතෙල් ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළකට රජය නොයන්නේ ඇයි ද යන්න පිළිබඳව ද ඔහු මෙහිදී විමසා තිබෙනවා.
පෙර සූදානම ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම ආදී සැලසුම් අප රටට තිබිය යුතු බවත් මේ යුදමය තත්ත්වය පටන් ගත්තේ මීට මාස ගණනාවකට පෙර නිසා මේ සම්බන්ධයෙන් අපට පුරෝකථනයකට යා යුතුව තිබු බවත් බලශක්ති සුරක්ෂිතභාවය ගැන කතා කරන විට අප රටේ විදුලි උත්පාදනය කරන බලාගාරවලින් නිශ්චිත විදුලිය උත්පාදනය නොවන විට ඩීසල් බලාගාරවලට යා යුතු බවත් මෙහි දී විදුලි බිල වැඩි වීමත් තෙල් හිගය නිසාත් ගැටලු රැසක් මතුවන බවත් මේ නිසා විදුලි කප්පාදුවලට යාමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම ඔහු පවසා සිටියේ දැනටමත් විදුලි කප්පාදුවක් ගැන පෙර නිමිති පහළ වෙමින් පවතින බවයි.
