අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය අද (මාර්තු 17 ) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සම්බන්ධ අතුරු යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමිනි.
මෙය ඓතිහාසික යෝජනාවක් බවත් අල්ලස් සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පවතින බව පළමුවරට දැනුණේ 2025 වසරේදී බව ඇය මෙහිදී කියා සිටියා.
මෙහි දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ,
ගරු කතානායක තුමනි, අද ඉදිරිපත් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරිමේ යෝජනාව ඉතාමත්ම වැදගත් සහ ඓතිහාසික යෝජනාවක් ලෙස මම සලකනවා
2023 වසරේ දූෂණ විරෝධී පනත සම්මත වුණත් ඒ සම්බන්ධ කොමිෂන් සභාවක් තියෙනවා කියලා අපිට දැනෙන්න පටන්ගත්තේ 2025 වසරේ සිට.
එතැන් පටන් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේ දි ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවුණා. විශේෂයෙන් ම නිලධාරීන් බඳවා ගැනීමට තිබුණු සීමාවන් වැනි කාරණා නිසා කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වීමේ බාධක අභියෝග ගණනාවක් තිබුණා. ඔවුන්ට ක්‍රියාත්මක වීමේ දී තමන්ගේ කාර්‍ය මණ්ඩලයේ දීමනා තීරණය කර ගැනීමේ නිදහස , ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති හා රෙගුලාසි නිර්ණය කිරීමේ නිදහස, නිලධාරීන් බදවා ගැනීමේ නිදහස, ඔවුන්ගේ වාර්ශික සැලැස්මට අදාළ ප්‍රතිපාදන ඇස්තමේන්තු ඉදිරිපත් කිරිම, මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් සහ කොන්දේසි ගණනාවක් ඇති කළ යුතුව තිබුණා. කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් තුමා පත්වෙනවිට කොමිෂන් සභාව තුළ විමර්ශන අවසන් කර නඩු නොපැවරුණු ලිපි ගොනු 4000කට අධික ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම නීති නිලධාරීන් සිටියේ 31ක් පමණයි.
මේ යෝජනාව සම්මත වීමත් සමඟ ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඔවුන්ගේ නිලධාරීන් තෝරාපත්කර ගැනීම, ඔවුන්ට අවශ්‍ය දීමනා තීරණය කරගැනීම වගේම මූල්‍ය කටයුතු පිළිබඳ ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේ නිදහස මේ සියල්ල හිමිවෙනවා. ඒ හරහා අල්ලස් හා දූෂණ කොමිසමෙන් බලාපොරොත්තු වෙන සැබෑ කාර්‍යභාරය ඉෂ්ට කර ගැනීමට හැකිවෙනවා. අපේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් තුළ, දූෂණ විරෝධී, අල්ලසට එරෙහි පිරිසිඳු රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ඉතාමත්ම වැදගත් යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වෙන්නෙ යැයි සඳහන් කර සිටියා.
